Social Icons

හොයමු බලමු

Monday, July 9, 2012

තොවිලය 02 ( හොර පොල් කැඩීම..... )


ඔන්න ඉතිං මම ආපහු ආවා නිකම්ම නෙවෙයි, තොවිලයේ දෙවනි කොටසත් අරගෙන. කළිං කොටසෙ මම කිව්වනේ කොහොමද තොවිලෙ පටං ගත්තෙ  කියල  අද බලන්නකෝ කොහොමද තොවිලෙ ගියෙ කි‍යල ,


( මේකේ පලවෙනි කොටස කියවන්නෙ නැතිව නම් දෙවනි කොටස කියවන්න එපා කරකවලා අතඇරිය වගේ තියෙයි.



තොවිලය 01 ( ආවඩන්නට පෙර.......)

ඔන්න තියෙනව පලවෙනි කොටස කියවලාම එන්නකෝ .......)
ඔංදෙවනි කොටස පටං ගන්නව ඈ,
.................................................................................................


සමාධි අක්කට ගහපු යකාට පිං සිද්ධ වෙන්න ඔං ඉතිං මටත් තොවිලෙකට සෙට් වෙන්න චාන්ස් එක්ක .

" කොල්ලො කුරුට්ටො සේරම එහෙට පදියං වෙලා, තනි කොරන්ට හොද නෑ නොවැ, මාත් ඩිංගක් ඉදල එන්නං , උඹලට ආරංචිය දීල යන්නයි ආවෙ  " සීය එහෙම කිව්වෙ හාංසිපුටුව උඩ වනල තිබ්බ කමිසෙ ඇදගන්න ගමනුයි , සීතල ඇති වයසක බුවානෙ : D . 

" මාත් එන්ටද ? "
" කොහෙ යන්නද මේ මහ රෑ !!!!! " ඒපාර අංජිය අදින්න යන්නේ ආච්චි අම්ම,උදේ ඉදංම ගේ ඇතුලෙම ඉදල මට පිස්සු ව‍ගේ . 
" ඔන්න ඔහෙ අපු දෙන් මමත් ඉන්නවනේ ! "
සීයා බුදු වේවා !!!!!!! : D 
   
අපේ ගෙදර ඉදං සමාධි අක්කලා ගේ දිහෑට මහ දුරක් නෑ වැඩිම උනොත් මීටර 20ක් ඇති . ඉතිං අපිත් බුග් ගාලා ගෙදරට එන්ටර් උනා . අප්පට සිරි ගමෙන් භාගයක්ම මෙතනනෙ.ගමේ කොල්ලො කෙල්ලො සේරම !!!! ආහ්....... වැරදුනා කෙල්ලො නෑ..... කෙල්ලොං ගේ අම්මලා . 
දන්න කියන එවුං එකෙක්වත් නෑ . ඇත්තම කථාව තමයි ඔය කාලෙ වෙනකොට මම දන් කියන එවුං කියල ජාතියක් ගමේ හිටියෙ නෑ , අවුරුද්දකට එකපාරයි නැත්තං දෙපාරයි ගමේ යන්නෙ , ඒ ගියත් වැඩි දවසක් ඉන්න එකක්යැ ඉතිං කොහෙ දැනගන්ටද !!!!!
අම්මේ!!!  සමිධි අක්කගෙ ලස්සන , කොන්ඩෙ කඩාගෙන , ඇස් දෙක රතුම රතු පාටයි , ක‍ට දෙපැත්තෙන් කෙලත් පෙරෙනවද කොහෙද , හරිම හැඩයි .
මේකිගේ තව මොනව බලන්නද !!!!! මම මිදුල පැත්තට වාශ්ප වුනා . හරි, කොල්ලො ටික කොනකට සෙට්වෙලා තොවිලෙට පේවෙන්නයි හදන්නෙ. රත්තරං පාට බෝතලේක තිබ්බ අමාවතුර බොස බොස ගාල වීදුරුවලට දාගෙන කට්ටිය අමුවෙන්ම වැඩ අල්ලනව.බොන්නෙ නැති උන්ද කොහෙද තුන්දෙනෙක් කොහෙන්දෝ ඉදල  උස්සං ආ‍පු කැරම්  බෝඩ් එකක් වටේට ඉදගන්නව දැක්ක . මාත් ඉතිං නොබොන වංසෙ නිසා ඒ පැත්තට පැද්දුවා ,

" හතර දෙනාම සෙට් වෙලා ගහමු කැරම් අතක් " එහෙම කිව්ව විතරයි මුං තුන් දෙනා මගේ දිහා බැළුවෙ හරියට සමාධිට ගහපු යකා දිහා බලනව වගේ .
" මොකද කියන්නෙ, මම ආවට අවුලක් නෑනෙ " 
" ඉද ගනිං... ඉදගනිං .... එහෙනං මායි පැට්ටයි උඹයි රජියයි "
ඔන්න ඉතිං ගේම පටං ගත්ත .  මම සුදු ඉත්තො වලට දානකොට මගේ පැත්තෙ හිටපු අනික ඔහේ ගහනව මට දැං මූත් එක්ක අම්බානට මල ඒ මදිවට මූ කණාවට වගේ වලට දාන ඔක්කොම ඉත්තො කළු එවුං , මල ඩබල් ..
" උඹ කව්ද බං ? " ටික වෙලාවකින් එකෙක්  ඇහුවා , දැං දීපංකො උත්තර විනාඩි 10විතර මම පැටිකිරිය කිව්වම උන්ට ‍තේරුනා මං කව්ද කියල .  
" මේක එපාවෙනව බං, මට නං දැං ඇති වගේ " ඇතියන්තං ම‍ට කියාගන්න බැරුව උන්නු දේ පැට්‍ට කියල දැම්ම .  
" මොකද කියන්නෙ යමුද ගබ්බිරියෙලාගෙ වත්ත පැත්තෙ "
" ගිහිං " 
" ඇයි යකෝ තොට මතක නැද්ද මම උඹට ඊයෙ පෙන්නුවෙ යසට ගෙඩි හැදිල තිබ්බ උගේ තැඹිලි ගහ , ගිහිං සුද්දයක් දාල එමු "
ගබ්බිරියෙලා ඇහැරුනොත් " 


" උඹට පිස්සුද බං , ඌ බීල බීල බුදි ඇති , මෙන්න මෙහෙ වරෙං යන්න,  දිනෙල්ක උඹත් එනවද ??"
අහලක පහලක සීය උත්තමය පේන්ට නෑ නේද ?? ම්....... නෑ නෑ..... පේන්ට නෑ , වැ‍ඩේ ‍ගොඩ 
" හරි යමං මාත් එනව " ඔන්න ඔහොමයි තොවිලෙට කලිං දා රෑ මං හොර පොල් කඩන්න යන්න සෙට් වුනේ.හොර වැඩක් කිව්වොත් මටත් ඊට වඩා දෙයක්නෑ .
" ඔය ඉන්නෙ කොල්ලො " රජීය හිනා වුනා .
" දුර යන්න ‍ඕනෙද ?? " 
" නෑ බං දිනෙල්කයෝ... හූවයි බල්ටියි........ " ගහ ගාවට යන්න දන්න නිසා පැට්ටා ඉස්සර වුනා .දැ ඔං කට්ටියම පේලියට යනවා හොර පොල් කඩන්න , පේලියට ගියේ වෙන මොනවත් නිසා නෙවෙයි අපේ ගෙදර ඉදං පාරට යනකං යන්න තියෙන්නෙ කුඹුරක් මැදින් ඇලවේල්ලක් දි‍ගේ ( කථාවෙ ඉතුරු ටිකටත් ඔනෙ වෙන නිසා ඔං මං ග්ලූගල් මාමිගෙං අපේ ගං පොඩ්ඩේ සිතියමක් ඉල්ලගත්ත, ඔය කමත ලගම පේන වහලෙ තමයි අපේ ගේ පොඩ්ඩ , පේනවනේ වටේටම කැලෑව : D )















පට්ට කළුවරයි කොහෙද තැඹිලිවල සිහිය මිසක් එකෙකුටවත් ටෝච් එකක් ගේන්න සිහියක් තිබ්බ එකක්යෑ.ගෙයක් ලගින් යනකොටනම් ටිකක් විතර පාර පේනව ලයිට් එලිය හින්ද අනික් තැන්වලදි නම් අලියෙක් ඇවිත් ඇගේ හැප්පුනත් පේන්නෙ නෑ .......... වෙලාවට අලි නෑ ,උඩරටනෙ !!!! .අන්දයෝ හතර දෙනෙක් වගේ ඇවිදලා විනාඩි 10කින් විතර හොරෙන් තැඹිලි කඩලා පිං රැස් කරගන්න නියමිත වෙලා තිබුන තැනට ආවා . 
" දැං කෑ නොගහ වරෙල්ල " පැට්ට බොහොම සීරුවට කිව්වා .ඉඩම වටේට ම කටුකම්බි ගහල තිබනත් අපි හතර දෙනාගේ මහා කැපවීම හමුවේ ඒවා ටුවයින් නූල් වගේ වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ .
සරමක් ඇදං හිටපු රජියට නං වැටෙං ඇතුලට එන්න කොමාන්ඩෝ ගේමක් දෙන්න වුනා . අන්තිමේදී කොහොම හරි සරමෙනුත් කෑල්ලක් නැති කරගෙන ඌ ඇතුලට ආවේ අපේ අත්පුඩි හඩ මැද්දෙන් කුණුහරප දෙක තුනකුත් කියාගෙන.
කියපු තැඹිලි ගහ තියෙන්නෙ ගබ්බිරියෙලාගේ කුස්සියට බොහොම ලගින් ඒ නිසා කරන මගුලක් සද්ද නැතැව කරන්ට ඔනේ. අපි හතරදෙනත් ගහට කිට්ටු කරල කොඩිය උස්සන්ට වගේ ව‍ටේට හිට ගත්ත . 
ගේ ඇතුලෙන් එන එලිය නිසා එතන නං ඒතරං අදුරක් තිබුනෙ නෑ .
" කව්ද නගින්නෙ ?" ඒ මං
" පැට්ටා උඹ නැගහං , පුරුදුකාරයනේ " 
" හොදා එහෙනං , ඔං නමෝ විත්............. ." 
ඌට වාක්‍ය සම්පූරන කරන්න ලැබුනේ නෑ අපි හිටපු තැනට වැටිච්ච එළිය එක පරෙටම වැඩි වුනා , ඔව් ඔව් ගබ්බිරියෙල් තමයි. මූ පිටිපස්දොරත් ඇරගෙන ආවෙ නැතෑ තෑ එළියට . පැට්ටා කිව්ව විදිහට ඌ බීල හිටියෙනෑ,,තනි කෙලිං , අපි හිතුවෙ කරටි කඩාගෙන මිනිහ බුදි ඇති කියල . ඉදුල් පිගානකුත් අරගෙන එලියට ආපු බුවා ,ඔළුවත් බිමට නමාගෙන අපි ගැන වගේ වගක් නැතිව ඒක හෝදන්න ගත්ත ,දැං හොරු හතර දෙනා  ගහවටේට තිබ්බ ගල් පිළිම වගේ, ඔන්න ඒ මාරකේත් පැන්න පිගාන කාරිය හෝදපු උන්දෑ වටපිට නොබලාම ගෙට රිංග ගත්ත, අපේ වෙලාවට මිනිහ තැඹිලි ගහ පැත්ත බැලුවෙ නෑ , බැළුවනං එහෙම හතර වරං දෙවිවරු තමංගේ තැඹිලි ගහ වටේට ඉන්නව බලාගන්න තිබුන , එක දෙයියෙක්ගෙ සරමත් ඉරිලා . 
හොද හුස්මක් එහෙම අරං පැට්ට ආපහු ගහ‍ට අත තිබ්බ විතරයි තවත් ගිණිවිජ්ජුම්බරයක් . ගබ්බිරියෙල් ගොයිය මුළු ගෙදරම ලයිට් නිවපි , දැං මොකද කොරන්නෙ හද එළියවත් නෑ අහස වළාකුළු වලින් වැහිල, අතේ දුරින් තිබ්බ  තැඹිලිගහත් පේන්නෙ යාන්තමට .  පැට්ට දෙවනි පාරටත් ගහට නගින එක නැවත්තුවා.


" දැං මොකද බං කොරන්නෙ  මේ පට්ට කළුවරේ!,කඩල දාන තැඹිලි අහුලන්න වෙන්නෙ හෙට උදේ තමයි " ලාල් හිනාවෙනව .
" අපි ගොහිං කියමුද ලයිට් එක දාන්න කියල "  රැව්ල ගිණිඅරං ඉන්න අස්සෙ මූ එනව සුරුට්ටු පත්තු කරන්න.
මෙච්චර දුර ඇවිල්ල හිස් අතිං යන්න නං මට මොකක් ද වගේ !!!!!! ඔන්න ඔය  වෙලාවෙ තමයි මගේ ඔළුවට අයිඩියා කෑල්ලක් ආවෙ !!!!!!!!


" හරි !! මේ මට කියහං උඹල තුන්දෙනාටම ගස් බඩගාන්ට පුළුවංද ? "
" අපි දෙන්නට පුළුවං ඒත් රජිය‍ට බෑ බං , ඇයි මක් කොරන්ටද ? "
" අව්ලක් නෑ ඌ බිම හිටපුවාවේ මේ වැඩේට එකෙක් බිමත් ඉන්න ඕනේ " මං එහෙම කිව්වේ සාක්කුවේ තිබ්බ ලේන්සුව අරං වලල්ලක් හදනගමං.
" මොකක් ද ‍කරන්ට යන්නෙ කියහංකො!!!! "
" මෙහෙමයි !!! පැට්ට උඹ පුරුදුකාරයනේ ඒනිසා මුලින්ම උඹ නගිනව , ගහ මුදුනටම නැගහං ,ඊට පස්සෙ ලාල් උඹ !!! අරූ මුදුනෙ ඉද්දි ,උඹ ගහේ භාගෙකට වඩා ටිකක් නැගල නැවතියං , ඊළගට මමත් ගහේ භාගෙකට අඩු දුරක් නගිනවා , රජී උඹ ගහේ මුල ඉදහං "
" ඊටපස්සෙ " 
" පැට්ට ගෙඩිය ගෙඩිය ගානේ කඩල ලාල්ට ගෙනත් දෙනව ඌ මට ගෙනත් දෙනව  මම උඹට ගෙනත් දෙනව උඹ ඒව එකතු කරල තියාගන්නව , වැඩේ ගොඩ " 
" අඩේ එක එලනේ , ඔන්න මං පටං ගත්ත " 
ඕං ඉතිං විනාඩි 5ක් යන්නත් කළිං අපි  ‍ගහේ පෙල ගැහිල හිටිය , පළවෙනි තැඹිලි ගෙඩිය මගේ අතට ආවා හැබැයි ඔන්න ඔය වෙනකොට මට දෙයක් තේරිලයි තිබුනේ මොකද්ද දන්නවැයි, බැහැ බැහැ නගින්න අමාරුයි කියන එක.මම තැඹිලි ගෙඩියත් අතේ තියාගෙන පහල බැළුවා කළුවර නිසා පහල ඉන්න රජියගේ කමිසේ කෑල්ලක් විතරයි පේන්නෙ.
" රජියෝ!!!!!!!!!" මම ගහේ ඉදං කෙදිරුවේ ගබ්බිරියෙල් ගොයිය ඇහැරුනොත් වැඩ වණ වෙන හින්ද 
" ඇයි බං ! " 
" උඹ‍ට මාව පේනවද ? "
" ලාවට "
" ඒ ඇති , වරෙංකෝ ගහ යටට "
" හරි ආව "
" මං තැඹිලි ගෙඩිය අත ඇරියොත් උඹට පුළුවංද  අල්ලන්න  ?? " 
මේ වෙනකොට දෙවන් ගෙඩිය අරං ලාල් ඇවිත් හිටියේ
" පුළුවං, පුළුවං  දාපං "
" එල !!!! ඔන්න අල්ලගං"
'චොක් ' ඌ ඒක අල්ලා ගන්නව  ඇහුන ඒත් එක්කම ඌ ලාවට කෙදිරිගානවත්  ඇහුනා මම ඉතිං ඒක එච්චර ගනං ගත්තෙ නෑ !
" මෙන්න දෙවනි එක අල්ල ගනිං " 
මාර වැඩේ ඌ ඒක අල්ලන කොට ඇහුන සද්දෙ වෙනස්  නේ ඇයිඒ , ඒ මදිවට ගෙඩිය බිමදිගේ පෙරලිලා යනවත් ඇහුනා.
" අල්ලා ගනිං මෝඩයෝ රෝල් වෙන්න දෙන්න එපා " මම පහල බැලුව .
හැ....... ඉස්සල්ලා උරහිස් දෙක විතරක් පෙනිච්චි කමිසේ මෙන්න දැං බිම එලල තියෙනව . ඒක නං ඒතරං සුභ ලකුනක් නෙවෙයි . ඕනෙ දෙයක් කායල මම ‍‍ගාහං බිමට දෙක්කුවා  , මේකට මොනව වෙලාද දන්නෑනේ !!!!!
මෙන්න මේක ගහ මුල බුදි .
'  නැගිටපිය මීමින්න උඹට මොකද වෙලා තියෙන්නේ ' එහෙම කියන්න හිතාගෙන බිමට බැස්සට මොකද ඌ දැක්කහම මගේ කටේ කෙල හිදිල ගියා. මේකා ලේ පෙරාගෙන බිම දොයි . ගබ්බිරියෙල් ගොයිය  ඇවිත් මේකට නින්ජා ගේමක් වත් දුන්නද !!!!!! 
" ලාලෝ, පැට්ටේ  බිමට බැහපං මෙන්න මූට මොනාද වෙලා " මම ටිකක් හයියෙන්ම කථා කලා.
තුන්දෙනාම එකතුවෙලා රජියව ඉන්දවලා ගහ මුලට හේත්තු කලා මගේ ලේන්සුවෙන් ‍මුනෙ තිබ්බ ලේ පිහදාලා තුවාල වෙලා තිබ්බ නහයට තියල තද කළා .හොද සිහිය තිබුනට මොකද මූට තවම කථාකරගන්න තරං පණ නෑ , තියෙන හීතල මදිවටද මන්ද  පැට්ටා කොහෙන්දෝ හබරල‍ කොලයක් හොයාගෙන රජියට පවන් ගහන්න ගත්ත .මිනිහගේ කටට පණ එන්න විනාඩි දහයක් විතර පවන් ගහන්න වුනා .
" ආච්චිගේ රෙද්දටද යකේ තෝ අර තඩි තැඹිලි ගෙඩිය මගේ මූණට අතෑරියේ "  
හැ......" 
" ඔව් මෝඩයෝ  තෝ ඒක අතෑරියේ මගේ මූණට "
" අම්මට සිරි !!!!! එහෙනං උඔ ලොකුවට කි‍ව්වෙ පේනව පේනව  දාපංය  කියල "අනිත් උන් දෙන්න දාගෙන හිනාවෙනව. 
" ඔව් ඔව් තොපි හිනා වෙයව් !!!! ඔක්කොමත් හරි ,වේදනාව  නිසා බිමට ඇලවුනා විතරයි මේක දෙවනි ගෙඩිය අතඇරියෙ නැතෑ යටිබඩට, කිලෝපහක පඩියක් අඩි 10විතර උඩ ඉදං @$$ය උඩට වැටුනහම කොහොමද කියල හිතපංකො " ආහ් ...... ඒක තමයි මුගේ දත කට පූට්ටු වෙලා තිබිල තියෙන්නෙ !!! 
 කට්ටි‍යගේ හිනාව අළුත් උණා‍ , හැබැයි වැඩි වෙලාවකට නෙවෙයි මෙච්චර වෙලා නිවිල තිබ්බ පිළිකන්නෙ 
බල්බ් එකත් දාගෙන  ගබ්බිරියෙල් ගොයිය  එලියට බහිනකං විතරයි . මෙච්චර වෙලා අමාරුවෙං බිම බුදියං හිටිය එකා, ඔව් රජිය තමයි මුලින්ම දුවන්න ගත්තෙ . ඊට පස්සෙ තමයි අපේ කකුල් වලටත් පණ ආවේ . අපි දුවනව ගබ්බිරියෙලා එලවනව , නිකං නොවයි යකා ගහපු සමාධිටත් වඩා හයියෙන් කෑගගහ . අනිව ඩෙපා තව ටිකකින් ගමේ උන් මෙතනට එනව මුටත් යකා ගහලද බලන්න . අපි වැට මායිමට ‍එනකොට මුලිං ඇවිත් හිටපු රජියා වැටට යටිං රිංගන්න පටං අරන් තිබ්බට මොකද ආයෙමත් සැරයක් සරම වැටට හරස් වෙලා තිබුනා . වැටේ උ‍ස අඩි 3 1/2 විතර ඇති අරූට බැරි උනාට මොකද මම වැටට උඩින් පැන්න, ඒත් ලෑන්ඩ් කරද්දි වෙච්චි අවුලක් නිසා මම මූන බිමට හිටින විදිහට තමයි වැටුනේ !! අප්පේ ඒ පස් වල රස . 
 ගබ්බිරියෙල් ගොයිය වැට මායිමේ ඉදං කෑගහන අතරෙ අපි ඇලවේල්ල මැදක් හරිය වෙනකන්ම දිව්ව . එතන ඉදං අපි හතිඅරින්න ගත්ත . අපිට කලින් දිව්වට මොකද රජිය හිටියේ අපි හති ඇරපු තැනට අඩි 20ක් විතර එහායින් අපිට පිටිපස්සෙන් පදුරක් ලග. සරම හින්ද ඌ අපිට පහුවෙලා  . 
" රජියෝ වරෙං වරෙං ඔය හතිඇරිය මදෑ සමාධිලා ගෙදර යමං "
" මට බෑ බං මං ‍.......... " 
" ඇයි බං බැරි ................... හෙට එළි වෙනකන් එහෙ ඉන්නව කියලානේ ආවෙ "
" මං මෙහෙම එහෙට ආවොත් හොදට තියෙයි "
" ඒ මොකද ? " 
ඒ මොකද !!!!!!! යකෝ මගේ සරම තවම අරූගේ වැටේ "...................................






(කොටස් දෙකකින් ඉවර කරන්න හිතුවට මොකද එහෙම බෑ වගේ !!!!!!!!!!! හැබැයි තුන්වෙනි කොටසෙන් නම් අනිවා ‍ඉවර කරනවාමයි !!!!!!! ) 




 




.

Saturday, July 7, 2012

තොවිලය 01 ( ආවඩන්නට පෙර............. )




"අප්පේ ......... ඇති යන්තං දැං ඉතිං ටික කාළයක් නිදහසේ ඉන්න පුළුවං........." ඉස්කෝලෙ යන කාලේ වාර අවසාන විභාග ‍එහෙම තියල නිවාඩු දෙන දවස ආවහම ම‍ට නම් හැමදාම හිතෙන්නෙ ඔහොමයි . 11 වසරට ආව කියල එහෙම හිතන එක වෙනස් වුනේ නෑ , ඔව් ඔව් මම කියන්න යන්නේ ඕ ලෙවෙල් කරන කාලේ අවුරුදු නිවාඩුවේදි  වුන දෙයක් තමයි.
මේ සිද්දිය වෙලා අවුරැදු 4ක් විතර වුනත් උදේ පාන්දර ඉදං මුළු වටපිටාවම දියබත් කරකර එකම විදිහට වැහැපු ඒ මූසල දවස මට ජීවිතේට අමතක වෙන එකක් නෑ, හවස 3 විතර වෙනකොට වැස්ස තුරල්වෙලා ගියාට මීදුමේ අඩුවක් තිබුනෙ නෑ.මේ තරම් ගන සැරේට මීදුම ,මතක ඇති කාලෙක තිබුනෙ නෑකියල තමයි ආච්චි අම්ම කිව්වෙ,,,එතකොට වෙලාව 4ට විතර ඇති හැබැයි මුලු පරිසරයම වෙනස් වෙලා තිබුනා ඉර එලිය කියල නාමයක් නෑ. මහ අදුරුයි, අපේ ගම සෑහෙන්න පිටිසරයි, උදේ 7ට යි හවස 6ටයි විතරයි බස් එකක් ආවෙ ගියෙ, ඔය බස්දෙක මග ඇරුනොත් ටවුන් එකට යන්න වෙන්නෙ තුන් සක රියක තමයි.පයිං ගියොත් කිලෝමීටර 30ක්. ඒ නිසා අපේ ගමේ වාහනයක සද්දයක් ඇහෙන්නෙත් ටිකක් අඩුවෙන්.


 හවස් වරුව පුදුම විදිහ‍ට නිහඩයි අම්ම  ,ආච්චි අම්මත් එක්ක කුස්සියේ කථා කරනව ලාවට ඇහෙනවා, කොළඹ ජීවිතේට පුරුදුවෙලා ඉන්න ම‍ට ගමේදි දරාගන්න අමාරුම දේ තමයි ඒ ගුප්ත නිහැඩියාව, කණ් දෙක කීං ගානව,ටීවි එක බලන්නත් නෑ ලයිට් ගිහිල්ලා .මුළු ගෙදරම වැඩ කලේ කුප්පිලාම්පු එලියෙන් . හාන්සිපුටුව‍ට වෙලා මනෝ පාරක් ගහගෙන හිටපු ම‍ට ටිකක් ගෙයින් එළියට බහින්න හිතුනේ වට පිටාව ඔන්න ඔහොම තියෙන වෙලාවකයි. හිමින් හිමින් දොර ගාවට ගිහිං, වැස්ස හින්ද උදේ ඉදං වහපු ගමන්ම තිබුන දොර ඇරියා!!!
සම්පුරනයෙන්ම දොර අරින්න වුනේ නෑ එළියෙ ඉදං මොකක් ද මන්ද සීතල දෙයක් මගේ කකුල් දෙකේ වැදීගෙනම ගේ ඇතුලට ඇදිල ගියා.........දඩාං..... ගාලා දොර වහගෙනම,  මම පිටිපස්සට පැන්න නෙවෙයි පැන්නුනා මර  ,සීතලේ මට දාඩියත් දාලා. එතකොට තමයි දැක්කෙ ගෙට පැනපු හොල්මන නගුටත් වන වනා මගේ දිහා බලාගෙන ඉන්නවා. මේ බිංකියනෙ ඊයෙ රෑ ඉදං මූ අතුරුදහන් වෙලා හිටියෙ ( ඌ එහෙම තමයි හිටපු ගමන් අතුරුදහන් වෙනව ) මෙන්න ආයෙ ඇවිල්ල .


" පුතා පුතා මොකද වුනේ ?? " අම්ම කුස්සියේ ඉදං කෑගහනව !!
" මොකුත් නැතෝ " ගෙදර ඉන්න බල්ලට බය වුනා කියල රෙද්දක් ඇදගෙන කියන්ට පුළුවනෑ.
" මොකද නැත්තෙ , මේක බල්ලට බය වුනානොවැ " අනිත් හාන්සිපුටුවෙ දිගඇදිල උන්නු අපේ ‍සීය වැඩේ කෑව.කුස්සියේ හිටපු ඈයො හිනා වෙනව , වෑඩියෙන්ම සද්දෙට ඇහෙන්නෙ නංගිගෙ කට !!!!!! මේකිට ටොක්කක් අනින්ට ඇත්තං , ඒත් කුස්සියට යන්න කම්මැලී.


හිතේ තිබ්බ භය ටිකක් අඩුවුන නිසා , සිරි නරඹන්න හිතාගෙන මම ‍‍ආපහු දොර ඇරිය . මොන සිරිද අඩි දෙකකට වඩා ඈත පේන්නෙ නෑ , මීදුම. මොන මගුලක්ද ආපහු ඇතුලට ගියපු මම ඇදට පැන්න, සීතළ  හින්දමද කොහෙද ටක්‍ ‍ගාලා නින්ද ගියා.මම හිතන්නෙ පැය දෙකක් විතර නිදාගන්න ඇති.
" ඇති යන්ත‍ං " මට එහෙම කියවුනේ ආපහු නැගිටිනකොට ලයිට් ඇවිල්ල තියනව දැක්කහමයි . කට්ටිය සාලෙ ටීවී බලනව ඇහෙනව , මමත් ඒ පැත්තට යන්න හිතල ඇදෙන් බැස්ස................


හූ........................................................................................................................................


එතකොටම තමයි ඇගේ ලේ වතුර වෙලා යන විදිහට ගෑණු කෙනෙක් යටිගිරියෙන් බෙරිහන් දෙන්න පටං ගත්තෙ,........ඉක්මනට සාලෙ පැත්තට දුවල ආව ....කණ් දෙකම හූ සද්දෙන් පිරිල නැවතිල්ලක් නෑ ,කාටද යකෝ මෙච්චර වෙලා හුස්ම අල්ලගෙන කෑ ගහන්න පුළුවං . ගෙදර හැමෝම බයවෙලා ,ලේසියකට හෙලවෙන්නෙ නැති ‍අපේ සීයගෙ මූණත් වෙනස් වෙලා.ඇයි යකෝ ගේ ඇතුලෙන් ගෑනියෙක් බෙල්ල මිරිකනකොට කෑගහනව වගේ සද්දයක් එනකොට මොකාටද බය නොහිතෙන්නෙ.    
තත්පර දෙක තුනකට සද්දෙ නැවතුනා ආයෙත් පටං ගත්තා, එතකොට තමයි කට්ටියට මීටර් වුනේ සද්දෙ ඇහෙන්නෙ අපේ ගෙදරට උඩහින් තියෙන සමාධි අක්කලාගේ ගෙදරින් කියල.


" සුමනලාගේ දිහායින් නේද ?? " ආච්චි අම්මා ඇහුවා.
" ඉදිංකො මං බලල එන්න මොකක්ද වින්නැහිය කියල " කියාගෙනම සීයා එලියට බැස්සෙ ටොච් එක විතරක් අරගෙන කමිසයක් වත් අදින්ට පරක්කු වුනේ නෑ .( සරමක් ඇදගෙන හිටිය හොදේ !!!! ) මමත් යන්න හැදුවට අම්මගේ විරෝධය හමු‍වේ පසුබහින්ට වුනා .මක්කොරන්ටද ඉතිං මමත් දොරකඩට වෙලා බලාන උන්නා ...............


" සමාධි කෙළීට දිස්ටියක් ආරූඩ වෙලා කියන්නෙ ............... නටනව ‍ගේ දෙක වෙන්න ආං " සීය ගෙට ගොඩ වුනේ එහෙම නියාගෙනයි.
" හැබෑට "
" හ්ම් .......... තාත්ත ඇවි‍‍දිං තෙල් ඩිංගක් මැතිරුව ඕං දැන්නං ඩිංගක් ගුනයි ඒත් ශාන්තිකරමයක් කරන්න වෙයිලු , "
" ‍හපොයි .......... යස අගේට උන්නු කෙල්ල " ආච්චි අම්ම එහෙම කිවිවෙ ලොකු හුස්මක්  පහත දාන ගමං .
" නුවන් පුතා කියව්වෙ හෙට පාන්දරම කට්ටඩියෙක්ව හොයන්න යනව කියල " 


අම්මට සිරි තොවිලයක්!!!!!! එල ...........................................




කථාව ටිකක් දිගයි ඒ නිසා කොටස් දෙකකට තමයි දෙන්න වෙන්නෙ !!! තරහ නෑනෙ !!!!


තොවිලයක් කියන්නෙ ටිකක් සීරියස් දෙයක් ඒ වගේ දෙයක් ෆන් සාගරයක් වෙච්චි හැටි ඊළග ලිපි‍යෙන් බලන්නකෝ!!!!!!!!!!!!!!!!!!!!

Thursday, July 5, 2012

සුදු රෝස පොහොට්ටුව ....................



දෑස පින්බරයි මගෙ.........
ඔබේ රුව දකින්නට 
සමරු පොත ඉඩ මදිය.......... 
ඔබෙ සුවද පවසන්න 
සොදුරු ඔය රුව සුවද 
මගෙම කරගන්න........ මම!!!! 
පින් කරල මදිවාද!  කදුලක්ම ලබන්න. 







ඉරි තැළුනු කතර බිම..... 
සනසවයි වලාගැබ 
දුක පිරුන  මගෙ නෙතට........
සිහිලසයි සොදුරැ නුඹ 


නිල් මැණික් තරු යුගල........ 
මගෙම කර සිඹින්නට 
සුදු රෝස පොහොට්ටුව........... 
මගෙ පපුවෙ සතපන්න 
ලා රෝස පෙති යුගල........ 
‍මගෙ නලල මත දුවන 
මම දකින ඒ දිනය සිහිනයක් විතරමද !!!!!!!!!!!!!!!                   

Wednesday, July 4, 2012

බස් නැවතුම සහ මම






හා හාපුරා කියල බ්ලොග් එකක් පටන් ගන්නව කියල මගේ පළවෙනි පොස්ටුව කොටල අදට දවස් 5යි. ඉතිං ‍ඒක බලපු ,නොබලපු හැමෝටමයි,, විශේෂයෙන්ම මගේ පලවෙනි පොස්ට් එක‍ට ,මුලින්ම  කමෙන්ට් කරපු අභීත අයියටයි නිෂ් , අඩවි රජ දෙන්නටත් ස්තූති කරන ගමන්ම දෙවැනි එක පටං ගන්නයි යන්නෙ ඔං 


----------------------------------------------------------------------------------------------------------------------------------


කස්ටියටම ටිකක් විතර හිනා වෙන්න පුලුවං කථාවකින් වැඩ විලක්කුව  පත්තු කරන්න ඕනෙ කියල හිතාගෙන ඉන්නකොට අද වෙච්ච වැඩක් නිසා කථාව ටිකක් වෙනස් කරන්න ඕනෙ කියල මගේ ඔලුව අස්සෙ ඉදං මොකෙක්ද එකෙක් කෑගහනවා.. අන්තිමේදි කීබෝඩ් එක ලගදි මම ඌ‍ට යටත් වුනා.


""""""""""මේ හැමදේම වෙනස් වුනේ අද උදේ පොඩි වැ‍ඩකට බම්බ පැත්තෙ ගිහින් (වැ‍ඩේ මොකක් ද කියල  වෙන කථාවකින් කියන්නම්කෝ)  ආපහු 155 බස් එකට නැග්ගහම. බම්බපිටිය කිව්වට මම බස්එකට නැග්ගෙ අර සෙම්න් පොඩ්ඩක් මි@$$ බාලිකාව ලගින් :)). . ඔන්න ඉතිං බස්එකට ඉස්සරහ දොරින් නැංගා,  ඉතිං මලවදේ හැම එකාම මගෙ දිහා බලනව , ( කොහොමත් ඉතිං ලංකාවෙ පාරක ඔටුවෙක් යනකොට කොහෙමත් බැලෙනවනෙ ) මමත් සපත්තු දෙක ‍දිහා බලාගෙන පඩි ටික නැගලා එහෙම්මම ගිහිල්ල සීට් දෙකක් අල්ලගෙන උඩ බලාත්ත.. කොන්දා තවමත් එලියෙ කෑගහනවා, මූ මොකාට කෑගහනවද මන්ද !!!හොල්ට් එකේ මෙලෝ මල යකෙක් නෑ. කල්පනා ලෝකෙ ඉන්න ගමන් රෙඩාර් එකට වැටෙන බෝනික්කියෝ ඉන්නවද කියල බලන්නත් අමතක කලේ නෑ . මුළු බස් එකටම හිටගෙන හිටියෙ මමයි තව දෙතුක් දෙනෙකුයි විතරයි ,ඒ නිසා දර්ශන පථය  පැහැදිලී ..... ඒත් ශික් ,ඇහැට කනට පේන එක කෙල්ලෙක් හිටියෙ නෑනෙ...... ( තුක් විතරක් )  ඇතියන්තං බස් එක යනව  !!
         
" දිනෙල්ක!! ඔයා... දිනෙල්ක නේද ??" හත් ඉලව්වයි මේන් බොලේ ජීවිතේ‍ට දැකල නැති කෙල්ලෙක් මට කථා කරනවා.  මම ආයෙත් බැලුවා, හොදට බැලුවා,  ඔව් ඔව් ජීවිතේ‍ට දැකල නැති කෙල්ලෙක් තමයි, දැං මොකද කරන්නෙ !!ඇයි අහනවද ඔව් කියනවද !!!

" ඔව් "

 "මාව මතක නැත්ද ? මම නිලූශා "
  නිලූශා .......නිලූශා .......නිලූශා ....කව්ද බොලේ නිලූශා!!!!!!  හුටා...  නිලූශා,,, කෙල්ල කව්ද කියල මතක් වුනා විතරයි මට නිකං කලන්තෙ වගේ.. වෙලාවට කෙල්ලත් එක්ක හිටපු හිටපු ආච්චි නැගිටලා ගියා මමත් දනි පනි ගාලා එතනින් වාඩිවුනා.
" දැං මතකද ?? "කෙල්ල මගෙත් එක්ක හිනාවුනා

...........................
" තරහද ?? "අවුරැදු 15 කට පස්සෙ හම්‍බ වුන ‍කෙල්ලෙක් එක්ක මම කථා කරන්න ප‍ටන් ගත්තෙ ඒහෙමයි.  

" ඒ මොකට ද තරහ වෙන්නෙ " 
" හැම දේටම" කියල කියන්න ඕනෙ වුනත් මගෙ කටට ඒක කියන්න පන ආවෙ නෑ !!!


*********************************************************************
 " මමත් එන්නද අල්ලන සෙල්ලම් කරන්න " 
 " අපෝ දිනෙල්ක ,  නිලූශා එනවනම් මම එන්නෑ "
 " මමත් නෑ "  
 " අප්පිරියයි අ‍නේ එයාව ගන්නව නම් මමත් එන්නෑ "
 " ඔයාව ගන්නෑ යනව යන්න........ කරදර නොකර "  


ඔව්,, ඒකාලේ  ඉස්කෝලෙ ගියපු හැමදාම වගේ ඉන්ටවල් එකට  අපි පන්තියම  නිලූශාව කොන් කලේ එහෙමයි ඉන්ටවල් එකට  විතරක් නොවයි ඉඩලැබුනු හැම වෙලාවකම අපි ඒක කළා, පව් පොඩි කෙල්ලට කොච්චර දුක හිතෙන්නඇද්ද, අපිට ඉතිං ඒකාලෙ ඕව තේරුනේ නෑනෙ !!!!!! ,, ඔව් ඔව් ඒ මීට අවුරුදු 15කට කලින්, මම 1 වසරෙ ඉන්න කාලේ,  ........ ගමේ ඉස්කෝලෙ තිබුනෙ, ගම්පොල නාවලපිටිය පරණ පාරෙ නාවලපිටියට කිට්ටු වෙන්න. ටිකක් විතර ලොකුයි ( මධ්‍ය මහා විද්ද්‍යාලයක්නෙ ) සම්පූර්ණ කන්දක්ම පිරෙන්න ඉස්කෝලෙ    ........ ගොඩක් ළමයි ආවෙ පිලිවලක‍ට ඇදගෙන ලස්සනට ඔලුව එහෙම පීරගෙන, ඉතිං ඔය අතරේ, කහ ගැහිල පොඩිවෙච්ච ගව්මක් ඇදගෙන ‍ගෙන සෙරෙප්පු දෙකක් දාගෙන ආපු  නිලූශා , බහුතරය අතරින් හිරිකිත විදිහ‍ට කැපිල පේන එක අහන්නත් දෙයක්ද !! 


මම දැනං හිටපු විදිහට නිලූශා‍ හිටියෙ තාත්තයි මල්ලී එක්ක මල්ලි ඉපදෙන කොට අම්ම නැතිවෙලාලු ඉන්න හරියට ගෙයක් වත් තිබුනෙ නෑ. ඉස්කෝලෙ ලග තිබ්බ පරන  බස් නැවතුමක් තමයි ගෙදර වෙලා තිබුනේ. සංගනනෙදි ඒකට අංකෙකුත් දීල තිබුන නිසා ලිපිනයක් නම් තිබුනද කොහෙද!  . තාත්ත කලේ කුලීවැඩලු,, 1 වසරෙනේ ඔච්චරයි දැනං හිටියේ .


මම නම් කවදාවත් නිලූශව කොන් කලේ නෑ කියල බොරු ලියන්න මම කැමතිනෑ, සමහර වෙලාවට මම තමයි බයිට් එක ලීඩ් කලේ ( දැන්නම් මම මේ වගේ නෑ හොදේ ) . එහෙව් කෙල්ල ,මොනව කිව්වත් හැම  ඉන්ටවල් එකේම ‍වගේ " මමත් එන්නද  සෙල්ලම් කරන්න "  කියල අහනවා ,හැමදාම හම්බවුනේ එකම උත්තරේ . මම ඒ ඉස්කෝලෙට  ගියෙ එක අවුරුද්දයි,(තාත්තගේ සේවා මාරැ වීමක් එක්ක අපි කොළඹ ආවා ) ඒ අවුරුද්දේ කිසිම දවසක  නිලූශා සෙල්ලම් කලේ නෑ කියල ම‍ට හොද‍ට මතකයි, වැරදුනා අපි  කිසිම දවසක  නිලූශාව සෙල්ලමට ගත්තෙ නෑ. 


**********
" මොකටද මම තරහ වෙන්නෙ " කෙල්ල දෙවනි පාරටත් ඇහුව්වා, මම ආපහු බස් එක‍ට ආවෙ එතකො‍ට . ඒත් මට දෙන්න උත්තරයක් තිබුනෙ නෑ 
" කොළඹ මොනවද කරන්නේ ? " ශේප් එකේ කථාව වෙන පැත්තකට හරවන්න try  කළා
" මම දැං  @$$%%$$$$ කැම්පස් ‍එකේනෙ " 
කෙල්ලගේ ඇස් දිලිසෙනවා .

ඒක ඇහුවාම ම‍ට අඩන්න හිතුනා ( සතුටට නම් නෙවෙයි ), අන්ත දුප්පත් පවුල් වල ළමයි ඉගෙනගෙන ජීවිතේ දිනන්නේ කථා පොත්වල විතරයි කියලයි මම හිතාන උන්නෙ.
"‍ මරුනෙ හොස්ටල්ද ඉන්නෙ ? "
" ඔව් ඔයා මොනවද කරන්නෙ,  කැම්පස් ‍ තේරුනානේද ?? දිනෙල්ක ඉතිං ඒ දවස් වල ඉදන්ම දක්ෂයිනෙ "
හුටා දැන්නම් ඇඩෙන්න ඔන්න මෙන්න .,උ / පේ පාස් උනාට මාව කැම්පස් ‍ තේරුන්නෑ ,කෙල්ල මාව පරද්දලා ,.........
" අනේ නෑ ,මම **** ‍එකේ  කොම්පියුටර ඉන්ජිනියරිං කරනවා " 
" අනේ ..... අපරාදේ  කමක් නෑ ඔය කොස් එකත් හොදයිනෙ ......" 
" හ්ම් " කියනවා ඇරෙන්න මට වෙන කියන්න දෙයක් තිබුනෙ නෑ 
" අනේ  දිනෙල්ක මම ඉස්සරහින් ‍බහිනවා මට ඔයා ගේ නම්බරේ දෙන්නකෝ පස්සෙ කථා කරමු " 
මමත් ඔන්න ඔහේ ඕන එකක් කියලා නම්බරේ ලියන්න ගත්තා  එතකොට තමයි දැක්කෙ කෙල්ලටත් පොඩි  ෆෝන්  කෑල්ලක් තියෙනවා කියලා 
 " එහෙනං මම යන්නං  " 
නොදකින් නොදකින් නොදෝමකින් මේ කාළකන්නි බස්කාරයා ආයෙමත් ඔහේ ඉන්නවා යන්නෙ නැතුව.....  බස්කාරයාට පිං සිද්දවෙන්න,  බස් එකෙන් බැහැපු නිලූශා, ඒකි එනකං මග බලං උන්නු කොල්ලෙකුගේ අතිං අල්ලාගෙන  කැම්පස් එක පැත්තට නැලවි නැලවි යන හැ‍ටි මට බලං ඉන්න උනා . ඉතිං මං පරාදයි !!!!
  
මගේ අතිං ඒකාලේ වෙච්ච දේවල් වලට සාධාරනයක් කරන්න හිතාගෙන තමයි මේක ලිව්වේ . කවද හරි දවසක නිලූශා ‍වැරදීමකින් හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මගේ සමාව පළිගනීවි ( එහෙම වෙයිද ?? ) 


( නිලූශා යනු ඇගේ නියම නම නොවේ )



 

Sample text

Sample Text

Sample Text