" මගෙ චූටි මැණික තාම දොයිද ........ නැගිටින් මයේ අම්මා ... ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා නේ ...... මෙන්න මං මාරි බිස්කට් පැකට් එකකුත් ගෙනාවා .... එන්නකෝ තේ පොඟවලා සීනී ගාලා කවලා යන්ට ලෑස්ති කරන්න "
උදේ පාන්දර නැගිටගෙන , පට්ට හීතලේ ගැහි ගැහි මීදුම අස්සෙන් , ඇලවේල්ල දිගේ සීරුවට ගිහින් නෝනා ආච්චිගේ කඩෙන් නේද දෙයියනේ මේ බිස්කට් ගේන්නේ කියලා හිතට එනකොට මාසයක් නිදිමරලා හිටියත් නැඟිටින් හිතෙනවා .
තාම අවුරුදු පහේ පොඩි කොල්ලා උනාට එහෙම දෙයක් තේරුං ගන්න බැරි තරං බින්දුවේ මානසික මට්ටමක් මට තිබුනේ නෑ ...... ඔව්, ඒ මම තමයි, මීට අවුරුදු 15කට කලින් මගේ ගමේ ඉද්දි ආච්චි අම්මා මාව ඉස්කෝලෙ යන්න නැගිට්ටවෙව්වේ ඔන්න ඔහොමයි .
නාවලපිටියට බොහෝම ලඟින් තිබුන , වචනෙන් විස්තර කරන් බැරි තරමට ලස්සන ගමකලු මේ කළු කොල්ලා හිටියේ . මොණර කොල සිය ගනන් වියදන් කරගෙන , සීතලේ සැප ගන්න එන මහත්තුරුන්ට ඉරිසියාවේ පැලෙන්න හිතෙන තරමට ගමේ ගෙවුන මගේ ජීවිතේ ලස්සන වුනා.
ඇස්දෙකත් බාගෙට පියාගෙන නින්දෙන්ම වගේ බිස්කට් පැකට් එකම කන්නේ, ආච්චි අම්මගේ ඇඟිල්ලකුත් දෙතුන් පාරක්ම හපන්න අමතක කරන්නේ නැතුවයි. බොන ලිඳ ගාවට ගිහින් තියෙන සීතල නිසාම හොරාට මූන කට හෝදන් හදන මාව අල්ලගෙන බලෙන්ම වගේ හොඳට සබන් ගාලා මුලු ඇඟම හෝදලා ලිප ගාවට එක්ක ගිහින් , ආච්චි අම්මාගේ අත්දෙක ලිපේ ගිනි රස්නෙන් රත් කරලා මගේ මූනේ තියන්නේ හීතල අඩු කරන් හිතාගෙන.
කරන්ට් එක තිබුනේ නැත්තං පොල්කටු අඟුරු ස්ත්රීක්කෙන් හරි කිසිම රැල්ලක් හිටින්නේ නැතිවෙන්න ඇඳුම මැදලා දෙනවා .
නිල්පාට කොට කලිසමයි ,සුදු පාට අත්කොට කමිසෙයි, කලු සපත්තු දෙකට සුදු මේස් කෙකුත් දාගෙන බොකුටු කොන්ඩෙත් පිරගෙන බෑග් කට්ටයි එල්ලගෙන, සීයා පප්පිගේ බයික් එකට නගින්නේ බොහෝම සීරුවට .ඒ වෙන මොනවත් නිසා නෙවෙයි , බයික් එකේ යකඩ කෑල්ලක් ඇගේ ගෑවුනොත් මහ හයියෙන් කෑගැස්සෙන තරමට සීතල නිසයි.....
එක කික් එකෙන් ස්ටාට් වෙන හොන්ඩා බයික් එකේ තෙල් ටැංකියට උඩින් තියපු කොට්ටේ උඩට වෙලා බෑග් එකත් තුරුල් කරන් පප්පිගේ බඩට මගේ පිට තියාගෙන තවත් තුරුල් වෙන්නේ ඇයි කියලා කියන්න ඔනේ නෑනේ .
එතන ඉදන් පටන් ගන්න ගමන , මීදුම පිරිලා ගියපු කඳු මිටියාවත් තේවතු මැදින් ගිහින් සීතල අමතක වෙලා යන තරං ලස්සනට ඉර එලිය /ගස් අතරින් බේරිලා එනවිදිහත් දැක්කට පස්සේ තමයි ....... උඩහේන්තැන්න මද්‍යමහා විද්‍යාලයට එන්නේ ............
" මං යනවා පප්පී "
" හ්ම් ........ අද දවල්ට එන්නේ මං "
පප්පි කොහොමත් වැඩි කථා බහ නෑ .... ඒ උනාට මහාමෙරක් වගේ ආදරක් මගේ ගැන ඒ හිතේ තියෙනවා කියලා මං දන්නවා . ආච්චි අම්මට මොනතරං ආදරේ උනත් මං නිදාගත්තේ පප්පි ගාව , එයාටත් මං නැතුව නින්ද යන්නේ නෑ කියලා ආච්චි අම්මා අනන්තවත් , අනිත් ගමේ ගෑනු උන්දලා ගෙදරට ආවාම කියනවා මං අහගෙන.
සම්පූරණ කන්දක් පුරාවටම ඉස්කෝලේ පැතිරිලා තියෙනවා .... කන්ද මුදුනටම වෙන්න කපපු ලස්සන තණකොල පිට්ටනියක් මැද්දට වෙන්න පිහිටලා තියෙන අපේ ඉස්කෝලේ ප්‍රාථමික අංශය තරං ලස්සන ප්‍රාථමිකයක් මේවෙනකන් මගේ ඇස් දෙකට අහුවෙලා නෑ ....... පිට්ටනියේ එක පැත්තකට වෙන්න මානා පදුරු වලින් වැහිලා ගියපු ෆයිනස් කැලයක් ..... බොහෝම සරුවට හැදුන මානා පදුරු ඉස්කෝලේ ප්රාථමියේ තිබුන එකම බිල්ඩිම එක පැත්තකින් වහගෙන තිබුනේ සුරංගනා කථාවල තියෙන විදිහේ ගෙයක් ඇස් ඉස්සරහාම බොහෝම අපුරුවට මවන ගමන්.
ෆයින් කැලේ මායිමට වෙන්න තිබුනේ දකින හැම වෙලාවකම පරණ බලකොටුවක් මතක් කරන ගරා වැඩිච්ච ගොඩනැගිල්ලක් .... කබොක් ගල් වලින් හදලා සමර ගාලා කාලයක් බොහෝම අපූරුවට තියෙන්න ඇති කියලා හිතන්න පුලුවන් ගොඩනැගිල්ලේ වහලේ වගේම සමහර බිත්තිත් ගැලවිලා ගිහින් .
ගොඩනැගිල්ලත් එක්කම නියර දෙකේ පුරන් කුඹුරකුත් ඒ මැද්දෙන් උදේ ඉර එලියට දිලිසි දිලිසී ගලාගෙන යන ගැඹුක් නැති දියපාරකුත් අපේ ඉස්කෝලේ එලිය වැඩි කලා .
හැමදාමත් වගේ එදත් මං ඉස්කෝලේට ගියපු ගමන් දුවගෙන ගියේ ඔන්න ඔය කියන වතුර පාර ළඟට වෙලා රාස්ස කන්දට උඩින් ඉරපායන ලස්සන බලන්න මං එනකන් බලාගෙන ඉන්න තිසුරිව හොයාගෙන . අපි දෙන්න අතරේ තිබුනේ පුදුමාකාර බැදීමක් , එහෙම එකක් ඇතිවුනේ කොහොමද කියලා මං අදටත් දන්නේ නෑ . .......
හැමදාම මං එන කං දිය පාර ගාව තිබුන ගල්පොත්ත උඩට වෙලා හිනා කට නැති උනහම මං දවස ගෙව්වේ නිකන් මැරිච්ච එකෙක් ගානට.
වෙනදා වගේම හිනා වෙච්ච කෙලි පැටික්කිව බලන්න හිතාගෙන ගල්පොත්ත උඩට දුවපු මට එදා දකින්න ලැබුනේ මුලු ලෝකෙම කඩාගෙන වැටුනා කියලා හිතෙන තරමේ දෙයක් ....... සුදු ගවුම ඇදගෙන සුදු සපත්තු දෙකට සුදු මේස් දාගෙන කොණ්ඩේ කරල් දෙකට ගොතලා රතුපාට පීත්ත පටි දෙකකින බැදගෙන ගල උඩට වෙලා අඩ අඩ හිටපු කෙලි පැටික්කියක් .
" ඇයි ........... ? ??? අනේ ඇයි අඬන්නේ කියන්නකෝ " මං හෙමීට හෙමීට ලඟට ගිහින් ඇහුවා .
" අර මානා පඳුර ........ ඊහීහීහීහීහීහී.......... "
" ඉතින් ? "
" ඒකෙ හිටපු මොකෙක්ද එකෙක් මගේ අත කෑවා ......මේ බලන්ටකෝ " වෙරලු ගෙඩියක් වගෙ ඉදිමිච්ච තැනක් පෙන්න පෙන්න කෙල්ල අඩනවා.මටත් ඇඬෙන්න ගත්තා.
" යමුකෝ ගිහින් ටීචර්ට පෙන්නමු ........... "
අත්වලින් අල්ලගෙන ටීචර් හොයන්න දෙන්නත් එක්ක දිව්වේ දෙන්නම අඬන ගමන්. අපේ ෆෙන්ඩ් ශිප් එක ගැන දන්න නිසාම ටීචරුත් මොනවත් කියන්න නැතුව හිනා වේගෙනම මොන මොනවද ජාතියක් අර ඉදිමිලා තිබුන අතේ ගෑවා .
කෙල්ලගේ වේදනාව අඩු වුනාට මගේ වේදනාව අඩු වුනේ නෑ ....... මට දැන් මානා පඳුරු ටිකත් එක්ක මාර තරහයි .කොහොම හරි මේ ටික ඉවරයක් කරන්න ඔනේ!!
ගෙදර ගියපු මං අනිත්දවසේ ඉස්කෝලෙට ආවේ ආච්චි අම්මාගේ ලිප ගාව තිබුන පොල් ලෙලි දෙක තුනකට ලාම්පුතෙල් පොඟවගෙන බෑග් එකේ හොරෙන් ඔබාගෙනයි ........ගිනි පෙට්ටියෙන් ගිනි කූරු ගහන්න නොතේරෙන නිසා පප්පිගේ ලයිටරෙත් උස්සන්න අමතක කලේ නෑ.
වෙනදා ගල්වල ගාවට දුවන මං එදා පොල්ලෙලි මල්ලත් උස්සගෙන දිව්වේ ෆයිනස් කැලෑව කෙලවරට . එතනින් තමයි මානා කැලේ පටන් ඇරන් තිබුනේ ...... ආය කවදාවත් කාටවත් කරදර කරන්න බැරි වෙන්න කිලයා හිතාගෙන පොල්ලෙලිවලට ගිනි තියපු මං ඒ ටික මානා කැලේට විසිකලා .......
ආච්චි අම්මගේ ලිප වගේ සීරුවට ඇවිලිලා ඉවරවෙලි කියලා හිතපු මගේ අනුමානේ වැරදුනේ මටත් වඩා උස ගිනි දලු මවාගෙන මාන පිච්චෙන්න ගත්තහමයි........
පොඩ්ඩක් නෙවෙයි හුඟක් බයවුනා ....... ගින්න පැතිරිලා යන්නේ ඉස්කෝලෝ ගොඩනැගිල්ල දිහාටයි ......
කෑගහගෙන පන්තියට ගියපු මං ,
" ටීචර් ......... අන්න කවුදෝ මානා කැලේට ගිනිතියලා ......" කියල අඩන්න ගත්තා .මං එන්නේ නෑ කියලා හිතලා තනියෙන් ඉර පායනව බලපු තිසුරි මානා කැලේ ගින්න නිසා එන්න බැරිව දිය පාර ගාව තනිවෙලා .......
පන්තියේ වහලෙත් ටිකක් විතර පිච්චෙනකන්ම ගින්න නිවන්න බැරි උනා .......අන්තිමට ඉස්කෝලේ ලොකු අයියලා අක්කලා එකතු වුනේ නැත්තං ප්‍රාථමිකේ ආයෙත් මුල ඉදලා හදන්න වෙනවා . ගිනි තියපු එකා හොයන්නයි ආයෙ වහලෙ හදන්නයි අපිට දවස් 3ක් නිවාඩු දුන්නා ......
කවුරු නොදැන හිටියත් කැලේට ගිනි තිබ්බේ මං කියලා ටීචර්ට තේරුන නිසා වෙන්න ඇති ඉස්කෝලේ පටන් ගත්තදවසේ මගේ ගාවට ඇවිත් ,
" දැන් ඉතින් ඒ පඳුරු වලට තිසුරිට මොනවත් කරන්න බෑ නේද ! " කියලා ඇහුවේ
එක වසරේ ගෙවපු ඒ සුන්දර ජීවිතයට වගේම ගමේ ජීවිතයටත් ආයුබෝවන් කියලා දෙකවසරට මං අම්මලා තාත්තලා එක්ක කොළඔ ඉස්කෝලෙට ගියාලු
විශේෂ - මේ කොටස ලියන්නේ තිසුරි කියන අන්වර්ථ නාමයේන් මං හදුන්වපු ඒ ආදරනීය කෙල්ලට................. අපි දෙන්නත් එක්ක අවුරුද්දක් පුරාවට ගතකරපු ඒ ලස්සන කාලේ එකම එක දවසක්වත් මේ අවුරුදු 15 ක කාලෙයක් වෙලත් මට කවදාවත් අමතක නෑ.............. ඔයාටත් එහෙම්ම වෙන්න ඇති , තාමත් ඉන්නේ මං එදා දැන අඳුරගත්තු කෙල්ල නං ඔයාට අමතක නෑ කියලා මං දන්නවා . කවද හරි දවසක මේ බ්ලොග් පෝස්ට් එක කියවන්න ලැබුනොත් අමතක කරන්නේ නැතිව ඔයාගේ හරි නමින් කොමෙන්ට් එකක් දාන්න , තව එකපාරක් ඔය මූණ බලාගන්න ආසයි වගේ ....
ප.ලි - ඉස්කෝලෙට වැරදීමකින් හරි ගිනි තියපු කොල්ලෙක් ඩෝ.......... චාටර් නේ !!