Social Icons

හොයමු බලමු

Wednesday, July 19, 2017

------බඩගින්න------



නුවර පාරේ ඉඳන් කිලෝමීටර දෙකක් ඇතුලට ගිහාම අන්ත දුශ්කරයි . ඉන්නේ එදා වේල හොයාගෙන බොහොම අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු , බොහොම අව්‍යාජ ජීවිත මේ කරන රස්සාවට ආවේ නැත්තං මෙතනට අහිංසකයි කියන වචනෙත් දාන්න තිබුනා .
වෙන කොහොවත් නෙවෙයි මේ කෑගල්ල.

වැස්ස කාලෙට ගලන මහා වතුර පාරට සබරගමු කඳු පල්ලෙහාට හේදිලා යන නිසාවෙන්න ඇති ඒ ජීවිත වල තියන කර්කශක බව වත් පුරුද්දක් විදිහට විඳන දුකවත් අඩුම තරමේ සමන් දෙවියන්ට වත් ගානක් නැතිවෙලා.

මොන තරම් වැස්සත් රෑට කොයි තරම් සීතල වුනත් දවල්ට තියෙන රස්නෙ කොළඹට ගිණියමට දෙවනි වෙන්නේ නෑ . කුඩ ඉහලගෙන , වාහන ඇතුලේ ඒ සී එකට සම වැදිලා සනීපෙට යන අය ගැන පාරේ ගිනි කාගෙන දුම් බීගෙන වාහන වලට අත වනන අපිට ඊරිසියාවක් නැත්තෙමත් නෑ . වෙන මොනවත් නිසා නෙවෙයි ........... මේ දුක ඉවසන්න ටිකක් අමාරු නිසා . ඒත් ඉතිං කවුරුවත් බලෙන් ඇප්ලිකේශන් දාලා එන්න පුතේ කියලා රස්සාවට ගත්තෙ නැති නිසා කාටවත් දොසක් කියන්ත් බෑ . බැඳගත්ත නං පුතේ ගහපං බෙරේ .

ස්කූල් ටයිම් එකට එනකොට කෑගල්ල නත්තල් කාලෙට ටවුම ගෑස් පහ හන්දියට දෙවනි නෑ ..... වාහනයක් නැති අඟලක් හොයාගන්න හරි අමාරුයි . ඒ පැය තරං එපා වැඩ වැඩිවෙන පැයක් දවසේ වෙන වෙලාවක ඇතිවෙන්නේ නෑ . ඉතිං එතනින් පස්සේ අපි වුනත් පොඩි විවේකයක් නොගෙන බෑ . මැශින් නෙවෙයිනේ . 

කථාව සිද්ධ වෙන්නේ ඔන්න ඔය විවේක කාලෙදි . උසස් නිලධාරියා විදිහට මේක ලියන උන්දෑ වෙච්ච මම දෙයියනේ කියලා යටත් නිලධාරියත් එක්ක පොඩි විවේකයක් එක්ක තේ එකක් බොන්න කියලා හැමදාම පුරුදු තැන වුන දම්මික හෝටලේට ගොඩ වුනා . වෙනදා තරම් අව්වක් නොතිබුන තරමක වැහි අඳුරක් එක්ක අපි දෙන්න හෝටලේට ගියේ වෙනද යන පුරුද්ද නිසා වෙන් ඇති. 

නැති තැන කැ!@යෝ කියලා බැන්නාට ඉන්න තැන අපි තමයි දෙවිවරු, අප්පේ සැලකිලි , පුරුදු තැන නිසා අපේ අයටම වෙන් වෙලා වගේ තිබුන ටේබල් එකකුත් තියෙනවා .
පැයගාන්ක් හිට ගෙන ඉඳලා යාන්තමට ඉඳගත්තාම දැනෙන සනීපේ . ලිව්වට වත් කිව්වටවත් වැඩක් නෑ දෙයියෝ ඒක විඳලම බලන්න ඕනේ .
" සර් වෙනදා එකමද ? මේ මහත්තයව මොනවද !!! "

ඒ දමින්ද හෝටලේට මේ කොල්ලා ගියාම හැමදාම සර්විස් එක දෙන සාපිං මාමා . පුරුදු එක කිව්ව අමුතු අයිටම් එකක් නෙවෙයි .හෝටලේට ගියපු පලවෙනි දවසෙ මමම ගිහිල්ලා තේහඳන කොල්ලට කියලා මයිලෝ හැන්දක් , තලපු ඉගුරු කෑල්ලක් එක්ක පදමට වැඩිපුර සීනි කහට කිරිපිටි දාලා හදවගත්තු ස්පෙශල් ටී විලක්කුව එඩිශන් එක 

" දෙන්නමට ඒකෙන් දෙකක් ගේන්න අංකල් ."
කඩේ ඇතුලට එනකොට තිබුන වැහි අඳුර වැස්සක් වෙලා . කෑගල්ල එහෙමයි .
ස්පෙශල් ටී දෙකයි . සාපිං අංකලයා කෑගහගෙන තේ යාරේ ගාවට ගියා.
කඩේ ස්පෙශල් ටී කථව පටන් ගත්තේ මං කෑගල්ලට ආවට පස්සේ ( මං හෙන පොර ) . එතකල් තිබුනේ ටී එකයි ස්ට්‍රෝන් ටී එකයි .
ස්කූල් ටයිම් එක ඉවර වුන ගමන්නිසා වෙන්න ඇති සැලකිය යුතු පිරිසක් කඩේ ඇතුලෙ හිටිය වුනත් සාමාන්‍ය තත්වෙට වඩා නීවිලා ගියපු ගතියකුත් නොතිබුනාම නෙවෙයි .

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්

" සර් "

කඩේ ඇතුලේ දාලා තිබුන සින්දුවත් එක්ක වෙනම කල්පනාලෝකෙක හිටපු මාව ඇහැරෙව්වේ රාලහාමි . මුල් දවස් වලනං මගේ තාත්තටත් වඩා වයසක නිලධාරීන් මේ පෙරේදා ආපු මට සර් කිව්වාම හෙන අවුල් වගේ වුනාට දැං පුරුදුයි .

මං හරිම ආසා සින්දුවක් , නන්දාමාලනී නොනගේ කට හඩට ගහන්න දැං ඉන්න කිසිම එකියකට බෑ ."

ඇත්ත ඒක හරි අමුතු පෞර්ශයක් තියෙන කටහඩක් ඒ ආයේ බිහි නෙවන ජාතියේ කටහඩක් ,මොන සින්දුව කිව්වත් සින්දුව මිනිස්සුන්ට සංවේදී කරවන්න පුලුවං කටහඩක් . 

අපේ ස්පෙශල් ටී දෙක මේසෙට ආවෙයි කඩේ දොර ලඟින් අවුරුදු තුනක විතර මල්පුංචි කෙලි පැටික්කියක් වඩාගත්තු බඩ දරු අම්මා කෙනෙක් ඇතුලට ආවෙයි එකම වෙලාවේ .
අනුන්ගේ දේවල් හොයන එක මගේ ගතිය නොවුනට මේ දෙන්න මොකද්දෝ හේතුවක් නිසා මගේ අවධානය දිනාගෙන තිබුනා . පුංචි කෙල්ලගේ තිබුන හුරතල් ගතියද !! තේරෙන්නේ නෑ . කොහොම හරි දෙන්නත් එක්ක ගියේ කඩේ කෑම රාක්ක ගාවට .
තාම ලන්ච් එක ඉවර නෑ ඒනිසා රාක්ක බත් ව්‍යන්ජන වලින් පිරිලා . කෙල්ලත් වඩාගෙන අර අම්මා හැම ව්‍යාන්ජනයක් දිහාම බලාගෙන ඉදලා අපි හිටපු ටේබල් එක ලගම තිබුන කැශියර් එක ලඟට ආවා . කෙල්ල අම්මගේ කොණ්ඩෙන් අදිනවා . මූනත් දෙහි ලෙල්ල වගේ ඇයිද මන්දා .

" මල්ලි .... "

" ම්ම්ම්ම්.... යකෝ කැශියර්ගේ ලොකු කම . පස්සේ අල්ලගන්නං.

" කෑම වල ගනං කොහොමද මල්ලි ... "

" විකන් නං 250 , බීෆ් තියෙනවා 275 , බිත්තර 150 , එලවලු තියෙනවා 140 ."

පොඩි කෙල්ල කැශියර් කොල්ලගෙ කැල්කියුලේටරේට කුරුමානං අල්ලනවා .
අර අම්ම කොල්ලගේ මූන දිහා ටිකක් බලං ඉඳලා ආපහු හැරිලා කඩේ දොර පැත්තට ගියේ අතේ හිටපු කෙල්ලගේ මූන යන්තම් අතගාලා කනට කරලා මොනවද කියන ගමන් . දොර ගාවන් එලියට යන්න ලැබුනේ නෑ පොඩි කෙල්ල අම්මගේ උරහිස අපාගෙන අඩනවා . සද්දයක් ඇහෙන්නේ නෑ ඒත කඳුලු බේරෙනවා .
පොඩි එකී මෙහෙම අඩන්න පුරුදුවුනේ කොයින්ද 

අම්මට මේක දැනුන නිසා වෙන්න ඇති . කෙල්ලගේ මූන දිහා ආයෙම බලලා ... ආපහු හැරිලා කඩේ ඇතුලට ආවා ..

අපිට එලවලු කෑම එකක් දෙන්නකෝ මල්ලි .."
එහෙම කියාගෙන ගෑණු කෙනා වාඩි වුනේ අපේ ටේබල් එකට අල්ලපු එකේ ...
පොඩි එකීව පුටුව උඩ ඉන්දවපු අම්මා පර්ස් එක අරන් උකුල උඩ තියාගෙන කාටවත් නොපෙනෙන්න සල්ලි ගන්ං කරන්න ගත්තා .
මගේ පපුව පත්තු වෙන්නපුලුවං උපරිමේටම පත්තු වුනේ ඒ පර්ස් එක දැක්කාම රුපියල් පනහේ කොලේකුත් විස්සේ කොල දෙකකුත් ඇරුනාම තිබුනේ දහයේ කාසි කීපයක් විතරයි .

අම්මා බඩගින්නේ හිටපු කෙල්ලව අරන් කඩෙන් එලියට යන්න හැදුවේ කෑම කන්න අතේ සල්ලි නැති නිසාද . දැං මේ බඩ දරු අම්මයි පොඩි එකී දෙන්නම කන්නේ එක එලවලු කෑම එකද !!! තේ එක බීබී හිටපු රාලහාමිත් මගේ දිහා බැලුවේ වැඩේ තේරිලා වෙන්න ඕනේ .
මේසෙට බත් එක ආවා ....... දෙයියනේ පොඩි එකී කොච්චර බඩගින්නෙ ඉඳලද කියලා තේරුනේ බත් පිඟාන මේසෙට එනකොට කෙල්ල යන්තමට අම්මා දිහා බලලා අප්පුඩි ගහපු එකෙන් . 

පොඩි කෙල්ලට හොඳට කන්න පුලුවං . අම්මා කලේ බත් එක අන අන කෙල්ලට කවන ගමන් යන්තං එහෙන් මෙහෙන් කටක් දෙකක් කාපු එක . දෙයියනේ තව මාස ගානකිං දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නේද !!!!! 

අපේ ගෙවල් වල බඩ දරු කිව්වාම කෑම පිඟන බෙදන්නේ දෙන්න පුුලුවං උපරිමෙන් දෙන්නෙකුට හරියන්න . ඒත් මෙතන .....
යාත්නමට ඇස් දෙකට කඳුලු උනාගෙන එන අතරේ මම මේසෙන් නැගිටලා හෙමින් හීරුවේ අම්මයි දුවයි ලඟට කිට්ටු වුනා .

" මිස් , මම බාරයක් වෙලා තියෙනවා මේ මාසේ පඩියෙන් දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක්ට මොනව හරි අරන් දෙනවා කියලා .ඒත් ඉතිං හරිය තේරෙන්නේ නෑ මොනවද ගන්නෙ කියලා . මිස්ගේ අකමැත්තක් නැත්තං බාරේ ඔප්පු කරන්නත් තියෙන නිසා මං සල්ලි දෙන්න මොනවා හරි ඕනේ කරන දෙයක් ගන්න පුලුවන්ද ? "

අම්මා මගේ දිහා බලාගෙන හිටියෙ . මොනවා කරන්නද මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ....... අන්තිමට ඇස්ප දෙකත්ද තෙමාගෙන යන්තම් පද දෙකක් ගැට ගහගන්න පුලුවං වුනා .

" සර්ට යෝධ බල යෝධ වීරිය ලැබෙන්න ඔනේ ....''

පොඩි එකීට මොනවා තේරෙනවා කියලද . ඒකි කලේ ලොකු ඇස් දෙක තවත් ලොකු කරගෙන බලාගෙන හිටපු එක
පඩි ලැබෙන්න තව දවස් 10 යි . මගේ වොලට් එකේ තිබුන අන්තිම රුපියල් 5000හේ කොලේ ගෑනු කෙනාගෙ අතේ තියලා . ඩියුටි ඕෆ් වේන්න හිතාගෙන පාරට ආවා ......
යාන්තමට ගහන පොදෙත් එක්ක හමන හුලඟ නිසා නටන කොන්ඩෙ වැහෙන්න කැප් එක දාගෙන හිරිකඩ පාරදිගේම ඇවිදගෙන යන මට ආයම මතක් වුනේ නන්දාමාලනීගේ සින්දුවේ පදු පේලි දෙකක් ...........

ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්
( විලක්කුව ලියවෙන්නෙ සෑහෙන කාලෙකින් . දන්නෝ දනිති , නොදන්න කට්ටිය ඉන්න නිසා මේක කියන්න වෙනවා . විලක්කුවේ ප්‍රභන්ධ නෑ, අත්දැකීම් විතරයි ...... බොහොම ස්තූති )

5 comments:

  1. ඒ පර්ස් එක දැකලා දිනෙල්කට දැනුන හැඟීමම කතාව කියවලා මටත් දැනුනා.

    ReplyDelete
    Replies
    1. මැවිලා පේනවා තාමත් බං ...........

      Delete
  2. රටක් හදන්න දෙසපාලන බ්ලොග් ලියනවට වඩා ඇහැක් ඇරෙන්න දෙයක් ලියන එක කොච්චර හොඳ දෙයක්ද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී . සෑහෙන කාලෙකින් තමයි ලියන්න ගත්තේ දිගටම අපිත් එක්ක ඉඳීවි කියලා හිතනවා

      Delete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text