පෙරවදන
විලක්කුව බ්ලොග් අඩවිය ආරම්භකලේ මගේ ඇත්තම අද්දැකීම් ලියලා තියන්න හිතාගෙන මිසක් නවකථා ලියන්න නෙවෙයි . ඒ නිසා කවුරුත් වැරදි ආකල්පයක් ඇති කරගන්න උවමනා නෑ දිනෙල්කයත් බොරුකථා ලියන්න අරන් කියලා . මොකද මේ ලියන්න යන කථාව මගේ ජීවිතයට හුඟක්ම සමීප ( ඇත්තම කිව්වොත් ඊට වඩා සමීප කෙනෙක් නැතිව ඇති ) කෙනෙක්ගේ ආදර කථාව වෙනුවෙන් . මේ කථාවේ ඇතුලේ දුවන කිසිම චරිතයත් මනඃකල්පිත නෑ (චරිත වලට යොදලා තියෙන නම් විතරක් මනඃකල්පිතයි ) . ඒ විතරක් නෙවෙයි කිසිම සිදුවීමකුත් මනඃකල්පිත නෑ . මේ ලියන කථාව හැමදාම දකින එකම විදිහේ ආදරකථා වලට වඩා වෙනස් විදියේ කථාවක් වේවී කියලා හිතනවා . එහෙනං ඉතිං පටං ගම්මු නේද !!!!!
විප්ලව වාදියෙකුගේ ආදරය
පලමු දිගහැරුම -01
" කෝ මේ කොල්ලා කොහෙ ගියාද නෑ "
" ඔයට යන්ට ඇති මයෙ හිතේ , නා කියාගෙන එන්නේ නැතෑ , අදනේ අලුත් ඉස්කෝලෙට යන්නේ "
"ඒකත් එහෙමද ! මං මේ කොල්ලව වත්තට එක්කං යන්න හිටියේ ! බොහොම වල් බිහිවෙලා "
" අද නං මොනවටවත් ලෑස්ති වෙන්ට එපා ඕං .................... ඉගෙන ගන්න දස්සයා , නැත්තං මේ පලාතේ මොන එකාද කියන්ට බලන්ට උසස් පෙල කරන්ට නාවලපිටියේ අනුරුද්ධ විද්‍යාලෙට තේරුනේ "
" ඒ කියන්නේ දැං , ලංගම සීසොමක් ගන්න සල්ලි දෙන්ට වෙයි නේද ? මාසෙටම රුපියල් 30ක් වත් යයි . මොනවා කරන්ටද මන්දා "
ගේ ගාව ඉදන් කෙලින්ම පල්ලම් බැස්සාම කිසිම අමාරුවක් නැතුව ඔය ගාවට යන්න පුලුවන්. අවුරුද්ද පුරාම පිරිලා ඉතිරිලා යන මේ දොල පාර උදේ පාන්දර අමුතුම විදිහේ සුභ ලකුණක් මවලා පෙන්නනවා . උපන් දවසේ ඉදන් හිටයේ මේ ගමේ උනාට පියල්ට කවදාවත් ගමට ඉර පායන දිහා දිහා බලාගෙන ඉන්න එක ඇති උනේ නෑ.
නිල් පාට හිස් අහස රත්තරන් පාටින් පුරවගෙන අතරන් පතර තියෙන සුදු වලාකුලු වල මුදුනට හිතාගන්නවත් බැරිතරමට දිස්නයක් ගෙනත් දෙන ගමන් ඉර පායන දර්ශනේ හරි අපූරුයි . ඉපදුන දවසේ ඉදන් ගමෙන් පිට හැදුනේ නැති කෙනෙකුට උනත් අවුරුද්දේ අගෝස්තු මසේදී විතරක් බලන්න ලැබෙන මේ දර්ශනේ කවදාවත් එපා වෙන්නේ නෑ . රාස්සකන්දේ වම් බෑවුම පැත්තෙන් උඩට යන්න පටන් ගන්න ඉරේ පලවෙනි රැස් බැල්ම වැටෙන්නේ ගම්පොල කුරුදුවත්තේ ඉදන් ටික දුරක් රට ඇතුලට ගියාම දකින්න හම්බවෙන නිම්නයක තියෙන අහිංසක මිනිස්සු ඉන්න ගමකට .
තවත් වෙලාඉන්න ආසා හිතුනත් උසස් පෙලට පන්ති පටන් ගන්න පලවෙනි දවසෙම අළුත් ඉස්කෝලෙට පරක්කු වෙලා යන එක හොඳ නෑ. තවත් එක පාරක් විතරක් රාස්ස කන්ද දිහා බලපු පියල් ඔයේ වතුර දෝතක් බීගෙන ගියේ කලින් දවසේ රෑටත් හරිහමන් දෙයක් නොවැටුන බඩේ හිස් බව නැති වෙන්නත් එක්කයි .
නාගෙන තෙත සරම පිටින්ම ගෙට ඇතුල් වුනේ තාත්තා වට පිට නැතිබව හොඳටම තහවුරු කරගෙනයි . අම්මා උදේ පාන්දර හදන කිරිබතේ සුවදින් මුලු ගේම පිරිලා . කලින්දා , මයිල හත අටක් ඈතින් තියෙන සමූපෙට කන්ද දිගේ බඩගාන්න ඇත්තේ කිරිබතට කැකුලු සම්බා ගේන්න වෙන්න ඇති . වෙන මොන හාලටත් වඩා කැකුලු හාල් කිරිබතට පියල්ගේ තියෙන නෑ කම අම්මා හොඳටම දන්නවා .
දවස් දෙක තුනකට කලින් හෝදලා වේලලා අරන් තිබ්බ සුදු කලිසම දිහා බලාගෙන හිටපු පියල්ට තමන්ගේ ගැනම පුදුමාකාර විදිහේ ආත්මානුකම්පාවක් ඇතිවුනා . ඒ කලිසම මැහුවේ 10 වසරේදීය . දැනට අවුරුදු දෙකක ඉතිහාසයක් තියෙන කලිසමක් ඇඳගෙන අළුත් ඉස්කෝලෙට යන එකම කෙනා තමන් විතරයි කියන සිතුවිල්ලෙන් හිත අහක් කරගන්න හරි අමාරුයි .
විනාඩි දෙකතුනකින් කලිසමත් කමිසයත් ඇඟට දාගත්තු පියල් කුස්සියට ගියේ තමන්ගේ හැඩ දැකලා වැඩියෙන්ම වැඩියෙන්ම සන්තෝස වෙන ඇස් දෙකට අලුත් ඉස්කෝලෙ යන පලවෙනි දවසෙත් ඒ සතුට දෙන්න ඕනේ කියන සිතුවිල්ලෙන්මයි .
පොල් හනස්සක් දෙකට නමලා ලිපට දාන ගමන් අම්මා පියල් දිහා බැලුවේ ඇස් දෙකත් හරි අගේට කරකවලා .
" කොහොමද අම්මේ , ඇඳුමේ වැරද්දක් නෑ නේද ? "
ටිකක් වෙලා තමන්ගේ පුතාගෙ හැඩ බලාගෙන හිටපු අම්මා පියල්ගේ ලඟට ආවේ ඇස් දෙකේ කඳුලුත් පුරවගෙන .
" මයේ කොල්ලට වරදින්නේ නෑ ! ඉස්කෝලෙ ඉන්න ලස්සනම කොල්ලා වෙනන ඇති ! " අම්මා කවදාවත් ඉස්කෝලෙ ඇතුලට ඇවිත් තිබුනේ නෑ .
" යද්දි ගොඩක් වෙලා යයි නේද ! හැතැම්ම දහයක් පහලවක් තියෙනවා මගේ හිතේ ......... පයින්ද මයේ අම්මා යන්න වෙන්නේ " තමන්ගේ පුතා ඒ වගේ දෙයක් අහද්දි හීල්ලෙන්නේ නැත්තේ මොන අම්මටද !
" හ්ම් !!!!! තාත්තගෙන් අහන්ට පුතා ...... මයේ අතේ නෑ කීයක්වත් "
මේ උත්තරේ ලැබෙන බව පියල් කලින්ම දැනං හිටියා. කල්පනා කරන ගමන්ම පියල් බැලුවේ ලිපේ තියෙන ගින්දර දිහා , ඒ එලියෙන් අම්මගේ ඇස්වල තියෙන කඳුලු දිලිසෙනවා . අම්මා අඞන්නේ ඇයි කියලා හිතා ගන්න අමාරුවක් නෑ !! . ඇයි දෙයියනේ ඒ ප්‍රශ්නේ අම්මගෙන් ඇහුවේ .
" මං ගිහිං එන්නං අම්මේ "
" කැකුලු හාලේ කිරිබත් හැදුවා පුතේ , හොඳට උම්බලකඩ දාලා ලුණුමිරිසකුත් ඇති ..... පලවෙනි දවසනේ .... මොනවා නැති උනත් හිතේ හයිය නැති කරගන්න එපා මගේ රත්තරං . කමුනේද !!! "
" හ්ම් ........... අයියලයි තාත්තයි කෑවද ? "
" තවම නෑ , කිරිබත ඉඳුල් කලේ නෑ , බුද්ද පූජාවට අයින් කරලා පුතා මුලින්ම කන්න . අපි පස්සේ කන්නං "
පලවෙනි කිරිබත් කෑල්ලෙ හිතුවාටත් වඩා රසය . ඔනෙම දුරක් යන්න හයිය අම්මා උදෙන්ම දුන්න කිරිබතෙන් ලැබුනු බව පියල්ගේ හිත ඇතුලටම දැනුනා .
" දැන් යන්නද අම්මේ !!!! " පියල් අම්මගේ කකුල් දෙක අල්ලලා වදින ගමන් ඇහුවා .
" මයේ කොල්ලට තුරුනුවං සරණයි "
පියල්ට තාත්තා මුණ ගැහුනේ ගෙදරින් එලියට අඩිය තියද්දිමය .
" තාත්තේ !!!!!! මං යන්න කියලා "
" හ්ම් ......... මෙන්න රුපියල් 34ක් තියෙනවා .......හවසට එන ගමන් ගම්පොලට ගිහින් සීසන් එකක් ගන්ට , ඔච්චර දුර පයින් යන්ට පුලුවනෑ , නාවලපිටියට යන්නත් එපායෑ "
පියල් ඒ සල්ලි අතට ගත්තේ හිතකින් නං නෙවෙයි ........ තාත්තා මේ උදේන්ම කාට හෝ ණය වෙලා තියෙනව කියන එක හොඳටම පැහැදිලී .
" තාත්තේ !!!!! ............................."
" පලයං පුතා !!!!!! උඹ අහන්න යන දේ දන්නවා , ඒ උනාට ඒවයින් උඹට වැඩක් නෑ , දැන් ඉස්කෝලේ පලයං "
පාරට යන්නටනං ගේ ඉස්සරහා ඇති කන්දෙන් එහා පැත්තට යා යුතුමය ...... සැතපුම් දෙකක් විතර තියෙන ඒ දුර පියල් ගියේ කල්පනා ලෝකයක හිරවීගෙනය .
පාසල් ගමන අපේ අඩුපාඩු පිරුන ජීවිතේට බර වී තිබුනේ දැනට අවුරුදු ගානකට කලින් ඉදන්මය. ලොකු අයියා ඉස්කෝලෙ ගමන 8 වසරෙනුත් පොඩි අයියා සාමාන්‍යපෙලෙනුත් අක්කා ඉස්කෝලෙ පොඩිම පන්තියකිනුත් පාසල් ගමනට සමු දුන්නේ ඒ නිසා විය යුතුය.
.තමාද කලයුත්තේ ඒ මඟ යාම මිස පවුලට බරක් නොවීමය , ඒත් ඉස්කෝලෙට තිත තියන එක කථා කරන හැම වෙලාවකම ලැබෙන්නේ බැනුම් විතරක් වීමත් හිසරදයකි.
පියල් මහ පාරට අඩිය තියද්දී මුලින්ම දැක්කේ ඈතින් පෙනෙන සමනල කන්ද. සමණල කන්ද කොහෙමත් පින් පාටයි . කෙලින්ම පිරමීඩේ වගේ තියෙන නිසා කදු පන්ති අතරින් උනත් ලේසියෙන් අදුරගන්න පුලුවන් . පාරේ ඉදන් බැලුවාම මේ පාන්දර වෙලාවේ සමනල කන්ද පේන්නේ එහෙමත් දවසක විතරයි . නැත්තං මීදුම් පටලෙට වැහිලානේ තියෙන්නේ .
" ගමන සුභයි " සමනල කන්ද දැකපු ගමන් පියල්ට හිතුනා .
නාවලපිටියට යන්නට බස්එකේ පැයක් විතර තෙරපෙන්න ඔනේ .........
නාවල පිටිය අනුරුද්ධ විද්‍යාලය කියන්නේ පලාතේ තියෙන ලොකුම ඉස්කෝල වලින් එකක් ( අද වෙද්දි නං ඒක ජාතික පාසලක් ) . පියල්ගේ ගමේ කොල්ලෙක් ඒ ඉස්කෝලෙට යනවා කියලා හිතන එකත් හරි වෙනස් දෙයක්.
මොනවා උනත් අළුත් ඉස්කෝලේ හිතපු තරං නරක තැනක් උනේ නෑ . විශ්වවිද්‍යාල වලින් නවක වදය කියන එක එලියට ලීක් වෙලා තිබුනත් තවම ඒ රස්නේ අනුරුද්දෙට වැදිලා තිබුනේ නැති නිසා පලවෙනි දවස හිතපු තරං අමාරු උනේ නෑ . කලින් ගියපු උඩහේන්තැන්න සේනාධිකාරී මධ්‍යමහා විද්‍යාලය මිශ්‍ර පාසලක් නිසා අලුත් ඉස්කෝලේ ගෑනු ළමයින්වත් අමුත්තක් උනේ නෑ . කෙල්ලෝ දෙතුන් දෙනෙකුකෙම බැල්ම අමුතු විදිහට වැටුනත් . කිසිම කෙල්ලෙක් පියල්ගේ හිත හොලවන්න තරං වෙනස් විදිහේ අය උනේ නෑ .
" මචං පියල් .......... , උඹ දැන් ගෙදරද යන්නේ " පලවෙනි දවසෙම යාළුවෝ .
" නෑ බං ........ ගම්පොල ඩිපෝවට යන්න ඔනේ !සීසන් එකක් ගන්න "
" එහෙමද ............ මං මේ හැදුවේ , අද පන්තියේ සේරම උන් අපේ ගෙදර එනවා. උඹත් එනව නං එල කියන්නයි හැදුවේ ......... දැන් අවුලක් නෑ ඉතිං හෙට දිහාට වරෙන් .... අර තියෙන තේ වත්තේ මැනේජර් තමයි අපේ තාත්තා . හෙට දිහාට යමං බංගලාව පැත්තේ ගිහින් එමු "
" එහෙනං හෙට ........... හරිනේ " පියල් ඇහුවේ ඇතට වෙන්න පේන කළු ගල් වලින් හදපු එංගලන්තේ පෙනුම තියෙන අළුත්යාලුවා , තිලක්ලගේ බංගලාව දිහා බලාගෙනයි .
කරට අත දාගෙන තමන් හපපු රොටියේ අනිත් කොන කන්න ගත්තු තිලක් කියන්නේ තමන්ගේ සමාජ මට්ටමට වඩා හුඟාක් ඉහලින් ඉන්න ඒත් ඒ මට්ටමේ හුඟක් උන් ගාව නැති නිහතමානී කම තියෙන කොල්ලෙක් බව පියල්ට තේරුනේ , තේ වත්තේ කථාව ඇහුවාමයි .
පියල් ගම්පොල ඩිපෝවට එනකොට වෙලාව හවස 4 විතර වෙලා තියෙන්න ඇති .
" මොනවද පුතා වෙන්න ඔනේ ? "
වෙන තැන්වල දකින්න නැති විදිහේ කාරුණික නිළධාරියෙක් වුන ඩිපෝ කලමනාකාර තුමා පියල්ගෙන් ඇහුවේ බොහෝම ලෙංගතු විදිහටයි .
කරගන්න ආපු වැඩේ බොහොම ඉකමනට ඉවරකරගත්තු පියල් ආපහු හොල්ට් එකට ගියේ ඊලඟට තියෙන පලවෙනි බස් එකේම ගෙදර යන්න හිතාගෙනයි .
" අඩෝව් ........... උඹ තාම ගම්පොලද බං " සුපුරුදු කටඩක් ඇහෙද්දි පියල් හිටියේ බස් එකට නගින්න ඔන්න මෙන්න තියලා .
" තිලක් !!!!! "
" ගෙට්ටුගෙදර් එක කැන්සල් උනා බං ........ අර මොකද්දෝ සංවිදානෙක රැස්වීමකට කොල්ලෝ සේරම ගිහින් . මං තාත්තත් එක්ක ගම්පොල ආවා බඩු වගයක් ගන්න , උඹ තාම මොනව කරනවද ? කෙල්ලෙක් වත් ..............."
" පිස්සුද බං ......... මං මේ දැන් ටිකකට කලින් තමයි බස් සීසන් එක හදා ගත්තේ "
" රාජ්‍ය සේවයනේ නේද , වරෙන් බස්වල තෙරපෙන්න ඔනෙ නෑ ...... වාහනේ යමු තාත්ත දැන් එයි එතකං හෝල්ට් එකේ කයියක් දාගෙන ඉමු "
ගම්පොල බස් නැවතුම පරන එකකි . සුද්දා හැදුවාට පස්සේ අලුත් වැඩියාවක් කියලා එකක් නං වෙලාම තිබුනේ නෑ වෙන්න ඇති . යාළුවො දෙන්න ගිහින් බංකුවක් උඩ ඉද ගත්තේ තිලක්ගේ තාත්තා එනකං කල්මරන්න සිගරට් දෙකකුත් අරගෙනයි .
හෝල්ට් එකට ඉස්සරහා ස්ටේශන් එක ගාව කඩේ හරියෙන් හරි අපූරුවට නැලවෙන සුදු ගව්ම් ටිකකට යලුවො දෙන්නගෙ ඇස්ගියෙ නොදැනීමයි .
" ගම්පොල ඉස්කෝලෙකට බං එන්න තිබුනේ ........ බලහංකෝ හැඩ "
" ඇයි අනුරුද්ධේ කෙල්ලෝ කැතද .........." ඒ පියල්
" ජෝසප් එකේ කෙල්ලො ටිකක් නේද ? මැද ඉන්න සුදු එවුන් දෙන්න හෙන ලස්සනයි පියල් "
උපාසක චරිතෙ රඟපෑවත් පියල් බලන් හිටියෙත් ඒ කෙල්ලො දෙන්නා දිහාම තමයි .........දෙන්නම ලස්සන උනත් මැද්දේ ඉන්න උස ගෑනු ලමයගෙ ලස්සන කැපිලා පෙනුනා . ඒ වගේ කෙල්ලෙක් මීට කලින් කවදාවත් පියල් දැකලා තිබුනේ නෑ . ..... කරල් දෙකට ගොතපු කොණ්ඩෙ උරහිසෙන් එකම පැත්තට දාගෙන හරි ලස්සනට දෙපැත්තට පැද්දි පැද්ද එන ලස්සන දවස් දෙක තුනක් බලාගෙන හිටියත් ඇති වෙන්නේ නෑ .
විප්ලව වාදියෙකුගේ ආදරය - ( දෙවන දිගහැරුම ) බලාපොරොත්තුවන්න




