Social Icons

හොයමු බලමු

Showing posts with label පැරනෝමල් ඇක්ටිවිටීස්. Show all posts
Showing posts with label පැරනෝමල් ඇක්ටිවිටීස්. Show all posts

Saturday, July 6, 2013

මැදියම් රැයේ හමුවූ බෝදිලිමා ( සාමාන්‍යයෙන් ඔබ්බට ගිය සත්‍ය කථාව )

එදා පරිසරය 

 පළවෙනි කොටසට මෙතනින්

මැදියම් රැයේ හමුවූ බෝදිලමා ( සාමන්‍යයෙන් ඔබ්බට ගිය සිදුවීම් දාමය )

                                 

             පට්ටිපොළට හිරු බැස යන්නේ එතෙක් පැවතියාවූ සොඳුරු පරිසරය මුලුමුනින්ම වෙනස් කරමිනි .සොඳුරු දසුන් එකවනම මිහිදුමත් සමඟ ගලා එන්නාවූ අඳුරින් වැසීයයි .
                                  මධ්‍යාහනට පසු එකවනම රාත්‍රිය උදාවීම පට්ටිපොල ප්‍රදේශයට වසරේ එක කාර්තුවදී මුහුණදීමට සිදුවන්නාවූ ස්වාභාවික සිද්ධීයකි . අප කඳවුරු බැඳි ඒ මාසයද , පෙරකී කාර්තුවට අයත්වූවකි . පට්ටිපොල පතනයේ ලඳුකැලෑ අතරින් මිනිස් ඇසින් වෙන්වී ගිය සො‍ඳුරු දිය ඇල්ලක් සොයා යන ගමනක අපි නිරතවී සිටියෙමු . දින දෙකක් ගතකොට දිය ඇල්ලවෙත ලඟාවීමටද අනතුරුව එලඹෙන දින දෙක යලි පැමිනීමටද යොදාගත් අතිවෙහෙසකර ව්‍යායමයක දෙවන දිනයේ දිය ඇල්ල අද්දර කඳවුරු බැඳගැනීමට අපට හැකිවිය .
                                                      ආවේනික සර්පයින් කීපදෙනෙක් හමුවීම හැරුනුකොට මේ දින දෙක තුල අපට මුහුණදීමට සිදුවූ කිසිදු ජීවිතාවදානමක් හෝ අණතුරක භීතියක් නොවීය . 
                                              නමුත් දැන් අප මේ මුහුණදී සිටින්නේ කුමන ආකාරයේ අවදානමකටද !!  සියළුදෙනාම භීතියෙන් තැතිගෙන සිටී . කූඩාරම තුල එල්වූ ලන්තෑරුමේ මන්දාලොකයෙන් හා කඳවුර ඉදිරියේ දැල්වෙන ගිණිමැලයේ ආලෝකයෙන් මා දුටුවේ අප මඟපෙන්වන්නන් පවා භීතියෙන් තැතිගෙන සිටින ආකාරයයි . ඔවුන් අපගේ බලවත් ඉල්ලීම මත දින හතරක මේ ගමන සඳහා සහභාගී වු අහිංසක ගැමියන්ය . 
                                     අඳුර හා මීදුම විනිවිද යමින් ඇසෙන්නේ කාගේ කුමන හඬද යන්න මාගේ මනසේ විදුලි කෙටීමට  ගතවන්නට ඇත්තේ තත්පර කිහිපයකි . මින් පෙර එකවරක් පමනක් අසා ඇති ඒ භීතියේ හඬ, යලි කිසිදා නොසන්නට පැතූ ඒ මුසල හඬ යලිත් ඇසෙන්නට වීම අනෙකුන්ට වඩා මා සිත සලිත කලේ . සොඳරිගෙන් දෙවන වරමක්  ලැබීම සිදුවන දෙයක් නොවන බව කලකට පෙර වෙද සීයා පැවසූ වදන මනසේ හොල්මන් කරන්නට වීම නිසාය . 
                                        බඩදරු අම්මා‍ කෙනෙක් විලිරුදාවෙන් නඟන හඩට නොව , සොඳරි ගේ හඬ සමාන වන්නේ විලිරුදාවෙන් මියෙන්නට දඟලන කාන්තාවකගේ හෝ පාපතරයෙකු විසින් ගෙල හිරකිරීම නිසා වේදනාවෙන් කෑගසන කාන්තාවකගේ හඬටය . සියළුම සංවේදී ඉන්ද්‍රියන් හිරිවැටෙන ආකාරයෙන්  සිදුවෙමින් පවතින මුර ගෑම හමුවේ විනාඩි කීපයකට පෙර පැවති නිසල විනෝදාස්වාදය පලාගොස් ඇත . කඳවුරු බිමේ පිරිමින්ම සත්දෙනෙකි . 
                     නමුත් ප්‍රතිමල්ලවයා මිනිසෙකු නොවේ !!!! ‍ කිසිවෙකු නොදුටු අමනුස්සයෙකි , නැත්නම් දුටු අයවලුන් සිහිවිකල් කලාවූ සත්වයෙකි . අපි කෙසේ නම් මීට මුහුණ දෙමුද !!!
                                  මයිලක් පමණ ඈතින් ඇසුන වේදනාකාරී හඬ ලං වෙමින් පවතී .බෝදිලිමා පහර දෙන්නේ එලෙ‍සින්ය . ඔය ඇසෙන්නේ අණතුරු ඇඟවීම විය යුතුය . සිංහල සේනාව එනවිට වැයෙන රණ බෙර ඇසුන පෘතුගීසින්වත් මේ තරම් අසරණ නෙවෙන්නට ඇත . 
                    අප කිසිවෙකුටත් කථා කරගත නොහැකි තත්වයකට පත්වී ඇති සෙයකි . ගිණිමැලයේ ආලෝකයෙන් දිලෙන ,  මීටර් දහයක් පමණ ඈතින් ඇති ලඳු කැලෑවේ ආරම්භය දෙස සියල්ලෝම නෙත් යොමා සිටින්නේ කොයි මොහොතක හෝ  පඳරු අතරින් එලියට ඇදෙන අපේ මරණය බලාපොරොත්තුවෙන්ද !!!
                                        මරණ භය , මිනිසෙකුට දැනෙන්නේ ජීවිතයේ අවස්ථා කීපයකදී පමණක් විය හැක . නැත්නම්  අවසන් මොහොත තෙක් දැනෙන්නේ නැත. නමුත් අප මේ මුහුණ දී සිටින්නේ පිරිමින් සත් දෙනෙකුට මරණ භය දැනෙන මොහොතකටයි . ඒ දැනෙන්නෙත් උපරිමයට බව ඉර හඳ මෙන් විස්වාසය. අවට සිටින මා මිතුරන්ගේ මුහුණු ඇකිලී ඇත්තේත් ,ඔවුන් බලාගත්වනම බලාසිටින්නේත් ඇයි දැයි කියා සිතාගැනීමට නොහැක. හිස කරකවා වටපිට බලන්නේ මා පමණද !!! 
                       " සංජීව " මා අසලින්ම සිටි මිතුරා දෙස බලා  ආමන්ත්‍රනය කලද ඔහු‍‍ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීම පුදුමයක් සේම මා සිත්හී ඇතිවුන භීතිය දෙගුන කිරීමටද හේතුවක් විය . 
                             " සම්පත් , රජී , අඩෝව් කථා කරපං යකෝ  මොනව හරි කරමු ගනිං ඔය ‍ගිණිපෙල්ලක් අතට ...... මොකෙක් හරි සතෙක් වෙන්න ඇති "
එසේ කලේ හිත රවටා ගැනීමටය . තව මොහොතකින් මා මීට වසර පහලොවකට පෙර දුටු අප්‍රසන්න දසුන දකින්නට වෙන බව හොඳාකාරවම දනිමි .
                                මා ඇමතුවේ අනිත් මිතුරන්ටය . නමුත්  ඔවුන් නිසලය ........... වශීවී ඇති ආකාරයකින් ඔවුන් බලාගත් අතම බලාසිටී . කරන්නට දෙයක් නැතිකමින් සම්පත්ගේ උරහිසට තද පහරක් එල්ලකලේ ඔහුව නිද්‍රාවෙන් ගලවා ගැනීමටය . නමුත් අසාර්ථකය. 
                                  පඳුරු තැලෙන හඩු ඇසෙයි . අවදිව ඇත්තේ මා පමනි ........ තවත්  සුලුමොහොතකි ....... වසර පහලොවකට පෙරදුටු අප්‍රසන්න රුව හොඳින් ගිණී එලිය නොඑන මුල්ලක පෙරලෙමින් දඟලනු පෙනින. මිතුරන් වශිවී හෝ භීතිය නිසා ගල්ගැසී ඇත . මා පමණක් මේ අමනුස්ස ග්‍රහණයට නතුනොවුයේ ඇයි .
                                                 දහනවය කන්ද මුදුනේදී මහසෝනා මුණගැහුනු ආකාරයත් ගැලවුන ආකාරයත් තත්පර කීපයක කාලයකදී විදුලි කෙටුවාක්මෙන් සිහිවිය . අමනුශය ග්‍රහනයට මා නතුනොවන්නේ උපන් වෙලාව හා ගණය නිසා බව වෙද සීයා පැවසූ ආකාරයද ඒ සමගම සිහිවුන නමුත් මෙහිදී මා කලයුත්තේ කුමක්ද  .
                                            මනස වසර පහලොවක් අතීතයට යන්නට ගතවූයේ සුලුමොහොතකි . එදා බෝදිලිමා අපේ මිදුලේ දර්ශනය වූ විට වෙද සීයා මැතුරුවේ කුමක්ද !!!
" ඒ සතා ආව වෙලාවේ මොනවද සීයේ කිව්වේ ඒ "
" ඒක බොහොම බගතු මන්තරයක් පුතේ "
" මටත් කියලා දෙන්නකෝ "
" තව ලොකු වෙද්දි පුලුවං වෙයි නිකම්ම , දහම්පාසලට යද්දි උගන්නනවා "
" මන්තර උගන්නවයැ දහම්පාසලේ "
" මේක මන්තරයක්ම නෙවෙයි , ආරක්ශක පිරිතක් පුතේ රතන සූත්‍රය......"

                              ඔවු රතන සූත්‍රය ........ එකල එම සූත්‍රය නොදැන සිටියත් පසු කාලීන දහම් අද්‍යාපනය සමග එය සෙල් ලිපියක් සේ මනසේ තැම්පත්වී තිබිනි . සැලෙමින් වේදනා දෙමින් ඳඟලමින් කෑගසන ගුලිය දෙස බලාගෙන රතන සූත්‍රය තොල් මැතිරෙන්නට ගත්තේ  සිතාමතා නොවේ .....
                                    මෙතෙක් වෙලා සෙමෙන් ඉදිරියට එමින් තිබූ ගුලිය නැවතුන අතර ආපස්සට පෙරලී යන්නට විය පඳුරු අතරින් එය අතුරුදන්වීමටත් වේදනා කාරී හඬ නැවතීමටත් ගත්වූයේ සුලුමොහොතකි . පසුව සියල්ල අඳුරුවිය.
පසුදා අළුයම හිරු කිරන දිය ඇල්ලේ මුදුන සිප ගනිද්දී අප ආපසු ගමනට සූදානම් විය.
                                පෙරදා රාත්‍රියේ සිදුවීම ගැන කථා කලද සිදුවූයේ මොනවාද කලේ මොනවාද යන්න ගැන කිසිවෙකුටත් නිවැරදි මතකයක් නොවීය . රතන සූත්‍රය මැතිරීම හා ගිරිය යටින් මොර දෙන හඩ හැරුනුකොට මටත් කිසිවක් ගැන නිවැරදි මතකයක් නෙවුන නමුත් කළු පැහැති අප්‍රසන්න ගුලි ගැසුන සත්වයා හා ඌ සූත්‍රයකට බියවී පලාගිය අයුරු මනසේ තැම්පත්වී තිබිනි. 
සමහර විට තෙවනි වරයක් සොඳරිගෙන් මට නොලැබෙනු ඇත !!!!


‍ප/ලි - මේ ලියන්නේ විද්‍යාත්මක බණ දෙසන්නට එන අයටය , මේ සිදුවීම විද්‍යාත්මකව පැහැදිලි කිරීමට නම් එයට මුහුන දිය යුතුය . බෝදිලිමා කටුස්සෙකු හෝ වෙනත් සතෙකු විය හැකි බවට මත ඇත . බෝදිලි කටුස්සා නමින් කටුසු වර්ගයක් සිටින බව සියල්ලෝම දන්නා කරුණකි .   එය සත්‍යකි  නමුත් එම කටුස්සාට මෙවන් ශබ්ධයක් පිට කල හැකිද ? එසේම , සුත්‍රයකට බියවී පලා යන්නේ මන්ද ? 
 උත්තර නැත !!! මටත් එලෙසමට .


-දිනෙල්ක-

Thursday, July 4, 2013

මායා ජාල් ( මන්තර කියන්නේ ඇත්තක්ද !!! කරලාම බලන්නකෝ )




                            බොදිලිමගේ කථාවේ අන්තිම කොටස දෙන්න කලිං වෙන මොනව හරි කරලා ඉම්මුද .....
ඔන්න වෙනස් වැඩක් හරිද මචංලා ..... මේවා අත්හදා බලලා කෙල උනාට පස්සේ මාව හොයාගෙන ආවයි කියලා මහ ලොකු ප්‍රතිකර්ම නං කරන්න දන්නේ නෑ ඕං.....

සීයාගේ මන්තර පොත් වලින් උස්සන ලදී ..... අව භාවිතයෙන් ලැබෙන ප්‍රතිථල ගැන වග නොකියන අතර ..... මස් මාංශ හා වෙනත් ආකාරයක කිල්ලකට අසුවීමෙන් පසු බාවිතා කිරීම නිසා ඇතිවන ගැටලු ගැනත් වග නොකියනු ලැබේ ......

මුලින්ම ඉතිං වටින කියන එකක් දීලා ඉමුකො නේද !!!

වශී මන්තර -

මුහුණ බලා වශී කරගැනීම -

නමෝ මුඛ බන්ධ මෝක්ශ මුඛ බන්ධ හැස්වාහ් 

ස්ත්‍රියගේ  / පුර්ශයාගේ මුහුණ බලා මේ මන්තරය කීප වරක් සිහිකරන්න ..
ස්පර්ශයෙන් වශී කිරීම - 

ඕං ඊ තාස් ප්‍රෙතේස් කාල සරුව ස ශාරි මුඛ මෝහිනී එයිප්පෝලේ රාක්ෂ ආයු වල දේවී තෝ අඩා නාභ ජීවික රාක්ෂත්තු කුරු කුරු එහි ඒස්වාහ

ඉහත මන්ත්‍රය  පිරිසිදු තල තෙල්  වලට මතුරා එම තෙල් බිඳක් කෙස් ගසකින් ගෙන දකුණු අතේ වෙඳගිල්ලේ ගාගෙන ගොස් වශී කිරීමට අවැසි අයගේ වමතින් අල්ලන්න .

ආරක්ශාවට මන්තරයක් - 

ඕං ශ‍්‍රීං සංකාර ව්‍යාඝ‍්‍ර හස්ත මුද්‍ර ගිණි දරණ නම: ඕං ගජ සංහාර ශ‍්‍රී

මුණියාණේ ව්‍යාඝ‍්‍ර ස්ථුල ජල රුද්‍ර ගජදේව මුද්‍ර ව්‍යාඝ‍්‍ර ගිණි දරණ නම: ඕං 

අෂ්ට ගුරු ගජේන්ද්‍ර විප‍්‍ර මණ්ඩල චිත්ත සංහාර ව්‍යාඝ‍්‍ර මුචලින්ද ගිණි දරණ 

නම: ඕං නෛයේරුම් වෛරික්කොණ්ඩුම් ගජ සිංහ ව්‍යාඝ‍්‍ර පංචේන්ද්‍ර මුද්‍ර 

සංකාර නම: ඕං අග‍්‍ර ශ‍්‍රී බ‍්‍රහ්ම චන්ද්‍ර වර භද්‍ර ගණ ගජේන්ද්‍ර ත‍්‍රිභුවනා ෙ

රෙර ගිණි දරණ ව්‍යාඝ‍්‍ර ගිණි දරණ නම: ඕං ගණකඩ දරණ ගිනි දරණ 

ආකාශ දරණ ව්‍යාඝ‍්‍ර මුද්‍ර දේව ගිණි මුද්‍ර ගිණි නම: ඕං දේව ගිණි ව්‍යාඝ‍්‍ර 

මුද්දෙන් අහස ගිණි කළෙමි. පංච්න්ද්‍ර ව්‍යාග‍්‍ර මුද්දෙන් පොලොව ගිණි 

කළෙමි. වෙසමුනි නයනාවුධ මුද්දෙන් සක්වල ගිණි කළෙමි. මා දුටු 

යකුන් යක්‍ෂණියන් ගේ ඇඟ සළිත, ඇස සළිත, ඉස සළිත, ගණකඩ 

පතාකයා නමෙන් යක්‍ෂයා තාගේ ඇට ගත කුළල් ගත සන්ධිගත නහර 

ගත සියොළඟ වෙළි වෙළී ව්‍යාඝ ගිණි දරණ යකු අතට පටළවා සළිත 

සළිත මාගේ පාපිට ගැසෙත්වා ගැසෙත්වා.


ඔය ඇති , 
වැඩිය දෙන්නත් හොඳනෑනේ මේවා මේ පරම්පරාවේ සාස්තර .

 අනිත් එක තමයි වශියෙන් ඇතිවෙන්නේ ඇත්ත ආදරයක් නෙවෙයි ඇ . ඕවා කරලා බැලුව වගේ නෙවෙයි ගලව ගන්න විදිහ මං තාම දන්නේ නෑ 





Monday, July 1, 2013

මැදියම් රැයේ හමුවූ බෝදිලමා ( සාමන්‍යයෙන් ඔබ්බට ගිය සිදුවීම් දාමය )

                   
                          


                                   කඳුකරයට හිරු නැඟ එන්නේ අනිත් පළාත් වලට වඩා බොහෝ ප්‍රමාද වීමෙන් සේම,  හිරු අනිත් පලාත්වලටත් කලියෙන්  බැසයාමද සාමාන්‍යය දෙයකි . 
                    ගම්පොල නාවලපිටිය පරන පාරේ පිහිටියාවු  දියුනුවේ මං පෙත් හෙළි පෙහෙලි නොවූ කුරුඳුවත්ත ග්‍රාමයට  මෙම කාලගුණික විපර්්‍යාසය අනිත් පලාත් වලට වඩා තදින් දැනෙන්නේ  සිව් දෙසින්ම කඳුවලින් වටවී  ඇති නිසා විය යුතුය . 
                                                යම් තරමක හෝ වත්කමක් ඇති මිනිසුන් එහි වී නම් , ඒ  අතේ ඇඟිලි වලටත් වඩා අඩුවූ ප්‍රමාණයකි . අනිත් පිරිස යැපුනේ අතමිට ඇතියවුන්ගේ බැලමෙහෙයෙන් ලැබෙන කුලියෙනි . එයද බොහෝ අවස්ථාවල රුපියල් දෙසීයය නොඉක්මවයි . එදිනදා ජීවතය ගැටගසා ගන්නා ආකාරයට අමතරව සිතන්නට යමක් ඔවුන්ට නොවීය .
                                      සිව් දෙසින් කඳු වලලු වලින් ගිලගත්තාවූත් . හාත්පස, කඳුකර වනාන්තර වලටම ආවේනික ලක්ෂණයන්ගෙන් යුතු වනාන්තරත් ,  අතරින් පරත සොහොනක කොත්  හෝ සුදු පැහැයෙන් ඳඟලන්නාවූ ගොක් කොල වලින් යුතු පස්ගොඩැලි අතර ,  තෙරක් නොපෙනෙන තේ වතු වලිනුත් ගැමියන්ගේ ජීවිත තවත් හුදකළා කලා පමනක් නොව මුලු ගම්මානයටම අමුතුම ගුප්ත බවක් එක්කර තිබිනි . 
                                            හොඳින් හඳ එලිය  ඇති රැයක හැරුනුකොට අන් කිසිඳු දිනක රාත්‍රියේදී ගැමියන්  නිවසින් එලියට බසින්නේනම් ඒ  බොහෝ කලාතුරකිනි . පරිසරය ගිල ගත් සීතල සේම , අඳුරු ගුප්ත බවින්ද මැඩවුන ඔවුන් නිවස තුලම ගුලිවි සිටිති . 
                                       සවස් කාලය එලඹෙත්ම , නිවස වටා ඇති සියළු කොළ රොඩු අතුගෑවීයන පරිදිමුලු ගෙපැලටම ආච්චි අම්මාගේ ඉදල් පහස ලැබෙන්නේ  රාත්‍රියේ ගොදු‍රු සොයා එලියට ඇදෙන්නාවූ සර්පයන් උණුසුම සොයා ඒ කොළ රොඩු තුල ගුලිවී සිටීමට ප්‍රිය තාවයක් දක්වන නිසාය . 
                                    ගම්මානයම වැහිබර අඳුරකින් ගිල්වමින් හාත්පස අඳුරුවී ගිය තවත් එක්  සන්ද්‍යාවකි . බටහිර අහස ගුගුරුවමින් නැග එන හෙනහඩ මාහා කුනාටුවක පෙරනිමිති පලකරමින් තිබිනි .ආච්චි අම්මා මිදුල අතුගා ගෙට ඇතුලු වූවා පමණි . මා ඇගේ ඇකයට   පැනගත්තේ මව් සෙනෙහස නොඅඩුව ඒ තුලද ගැබ්වී තිබුනු නියාවෙනි.
                                         ඉකිබිති  හටගත්තේ අති බිහිසුනු කුණාටුවකි ..
 සැඩ සුළඟින් කැඩී ඉරී විසිරී සීසීකඩ ගිය වැහි වලාකුළු බටහිර අහස වටකොට පැතිරුනේ ආක්‍රමණයකට මුලපුරන්නාවූ සතුරන්ට විරුද්ධව පෙළගැසේනා ගුරුළු රෑනක තරම් චන්ඩ විලාසයෙනි.හදිසියේ පුපු‍රා ගිය කස පහරින් අවදිවූ අසුන් රෑනක් වෙන් ඇඹරෙමින් දිව ආ සුළඟ , සතර අතින්ම බටහිර වා ගැබ පෙලන්නට විය .
                                          තැනින් තැන එබෙමින් සිටි හිරුමඩල පිළඹඳ ආරංචියක් පවා සොයාගත නොහැකි තරම්ය . යම රජුනිගේ අණින් අවදිවූ කුළු මී රැලක තරමට නපුරුවූ දළ රළගෙඩි , දුටුවන් භීතියෙන් උමතු කරවන තරම් විය .
                    බියකරු හඩක් නගාගෙන හිසට ඉහලින් හෙනයක් පිපිරිණි . ඊළඟට ඈත නිම් වලල්ලම දම් පැහැගන්වමින් විදුලි කොටන්නට වූයේ හාත්පස පැවති අඳුර සේම අහසද පුපුරවා දෙබෑ කරන්නට වන තරමිනි..
හොරා යන්ත්‍රයේ  පහේ කනිසම ඉක්මවූවා පමණි . නමුත් හාත්පස වූ  අදුර නිසා පරිසරය අපැහැදිලිවී ඇත. 
                                         පැයකට පමණ පසු වර්ශාව එසේම පැවතුනත් විදුලි කෙටීමේ යම් අඩුවක් විය . නමුත් ඒ අඩුව පිරවෙන්නට ගියේ සුලු මොහොතකි . මුළුමහත් වා තලයම හීන් කෙඳිරිලි හඩකින් පිරි යන්නට විය . එය කෙමෙන් කෙමෙන් වැඩිවී වේදනාවෙන් මුරගාමින් දඟලන්නාවූ  ගැහැනිය‍කගේ හඬට සමාන විය . උදව් ඉල්ලමින් දිගින් දිගටම ඇය වේදනාවෙන් මොර දෙන්නට වූ අතර ඇඟ හිරිවැටී සිටි මගේ කුතුහලයද ඒත් සමඟම වැඩිවිය . 

" කවුද ආච්චි අම්මි ඒ !!!! "
" කටවහගෙන ඉන්ට පුතා " ආච්චි අම්මා එසේ පැවසූයේ වෙද සීයා දෙසද බලමිනි .
                   වෙද සීයා යනු  ආච්චි අම්මාගේ තාත්තාය . ඔහු සිය පුටුවෙන් නැගිට බුදු කුටිය වෙත යනු දකින්නට ලැබුනි. වේදනාවෙන් කෑගසන හඬ දැන් ඇසෙන්නේ අපේ මිදුලෙනි . 
                                            දෙවරක් නෙසිතූ මා මුලින්ම කලේ ආච්චි අම්මා අහක බලන තුරු හිඳ  වසා තිබු දොර පලු විවිර කිරීමයි .......
                                            මිදුලේ පෙරලෙමින් ඳඟලමින් තිබූ කළු පොට්ටනියකි .අඳුරට ඇස හුරුවත්ම එය කාන්තාරුවකට සමාන වුවත් අසාමාන්‍ය විරූපී ස්වභාවයක් ඒ රූපය තුල ගැබ්වී තිබුන බව  වැටහෙන්නටත් ඒ සමඟම හටගත්  ආගන්තුක බියකින් සිත පිරීයාමටත් ගතවූයේ තත්පර කීපයකි . ඇය නැඟූ හඬ දෙසවන් බිහිරිකරන තරම්ය .වේදනාවෙන් යමක් ඉල්ලමින් මා දෙසට වේගයෙන් ඇදෙන රූපය දෙස බලාසිටිනවා විනා කරන්නට කිසිවක් මා සිත්හී හට නොගතී . පලා යාමට අවැසි වුවත් දෙපා ඊට අවනත නැත . කල හැක්කේ බලාසිටීම පමණයි . 
                                       ලිපේ අළු ඉවත් කිරීම වෙනුවෙන් තබාතිබූ ඉලපතද රැගත් ආච්චි අම්මා අප අතරට කඩා වැදුනේ විරූපී රුවත් මාත් අතර වූ පරතරය අඩි කීපයක් වී තිබියදීය. 
                                             එකවරම නැවතුන කලු ‍ගුලිය ආපස්සට පෙරලෙන්නට වූයේ වෙද සීයා ගේ යම් මැතිරිලි හඬක්ද ගුවනට මුසුවී තිබුන අතරය . කෑගැසීම දැන් නැත . ඇත්තේ වැහිබිරුමත් ඉඳහිට ඇසෙන ගෙරවිලි හඞත්  පමණකි . ආපසු හැරුනු ආච්චි අම්මි මා වැළඳගෙන වඩාගෙ යද්දී වෙද සීයා පසුපසින් පැමිණ රිදෙන්න ටොක්කක් ඇනීමටද අමතක නොකලේය.  බෝදිලිමා නොහොත් සොඳරී අවතාරය මූණටම මුනගැසුන පළමු අවස්ථාව එය විය .....
                                          මීට වසර පහලොවකට පමණ සිදුවූ ඒ සිදුවීම් දාමය යලිත් වතාවක් මා සිත තුල හොල්මන් කරන්නට වූයේ හාත්පස ගුගුරමින් යලිත් වතාවක් පහලොස් වසරකට පසුව ඒ මූසල වේදනාබර හඬ  අපඉදිකල කූඩාරම අබිමුවෙන් ඇසෙන්නට වූ නියාවෙනි .   
                                          නමුත් ඒ ගම්පොල හෝ අපේ ගම නොවේ , උදව් ඉල්ලන්නට හෝ  තත්පරෙන් තත්පරය අපවෙත ලංවෙමින් ඇසෙන ‍බොදිලිමාගෙන් අප ගලවාගන්නට කාන්තාවක්ද අප අතර නැත ......... තවත් තත්පර කීපයකින් ඌ අපේ කූඩාරම ඉදිරියේ දෘශ්‍යමාන වනු ඇත ................

බොදිලිමාගේ හමුවීම 02 බලාපොරොත්තු වන්න .


Sunday, October 21, 2012

හදිසියේ මුනගැසුනු මහසෝනා ! ( අවතාරමය )

         
                            ටවුම මැද්දේ එල්ලලා තියෙන මලානික ලයිට් එකේ එලිය නොදකින්න  ‍කුරුදුවත්ත හන්දිය පහුවුන බවට කිසිම සාක්ශියක් හොයා ගන්න බැරිවෙන්න ඕන තරම් ඉඩ තිබුනා.අන්තිම පාරට වෙලාට බලනකොට  රෑ 8.30 යි , එකියන්නේ දැන් නවයට විතර ඇති.

උදේ ඉදන් එකදිගටම වැටෙන වැස්සට තවම හතිවැටිල නෑ, අඩියක් දෙකක් එහායින් ඉන්න එකා නොපෙනෙන තරමට මීදුම , ඒකත් මගේම කරුම වෙලාව තමයි .
" ගල්වල හන්දිය බහින අය ඉස්සරහට එන්න " සී.ටී.බී බස් එකේ ටකරන් වහලෙව වැටිල වේදනාවේන කෑගහන වැහිබින්දුවල සද්දේ අස්සෙන් ,කොන්දොස්තර කථාකරපු සද්දේ ඇහුනේ හරියට පොඩි හාමුදුවෝ කෙනෙක් සෑහෙන දුරක ඉදන් කියන කවි බනක් වගේ සීරුවට . 

                                        පලාතම මීදුමේ ගිලිල තියෙන අස්සේ  මං ඊළගට නවත්තන තැන්නි බස් එකෙන්,රෙදි පුරවපු බෑග් එකත් අරන් බහින්න ඔනේ .කුඩේක වටිනා කම තේරෙන්නේ දැන් තමයි .
                              එදා හවස් වරුවේ කොළඹින් ගම්පොල බස් එකට නගිනකොට පටන් ගත්තු වැස්ස මගෙත් එක්කම ගම්පොලට ඇවිත් ...... තවමත් මගෙත් එක්කමයි .හයයි කාළට ගම්පොලින් පිටත්වෙන උඩුවැල්ල බස්එක මග ඇරුනෙත් ඊට පස්සේ අට වෙනකන් ගම්පොල ඩිපෝවට වෙලා වෙව්ල වෙව්ල ඉන්න උනෙත් මේ කාලකන්නි වැස්ස නිසාම තමයි .
අටට විතර ආපු ලදරම් බස් එකට නැගල මුල්ලක් අල්ලගෙන ඉදගෙන බලාගෙන හිටියේ, වැහි පොද සැරේට දියවෙන්නේ නැතුව ඉන්න දගලන ගම්පොල ස්ටේශන් එකේ නාම පුවරුව දිහා, කිසිම හැගීමක් නැති හිස බවක් ඒ වෙනකොටත් මාට වටකරගෙන ඉවරයි  .මං ඇරුනම මුලු බස්එකටම හිටියේ ‍තව දෙන්නෙක් විතරයි.
" ලෝකානන්ද පන්සල ගාවදි කියන්ට පුතේ " මගේ ඉස්සරහින් හිටපු වයසක අම්ම  කොන්දොස්තරට කියනව ඇහුනේ බොහොම ලාවට .
මගදි කිසට කෙනක් බස් එකට ගොඩ වුනෙත් නෑ .ගම්පොල නාවල පිටිය පරන පාරේ මුල්ලකට වෙන්න තියෙන ගම්පොඩ්ඩක තමයි අපේ මහ ගෙදර තියෙන්නේ.
                   බහින තැනටත් ආවා , දවාලටත් පාළුවට තියෙන අංක 19 තේ කෑල්ල ලග තමයි ගල් වල හන්දිය තියෙනන්නේ , කුරුදුවත්ත         ( කොළඹ එක නෙවෙයි ) ටවුමේ ඉදන් ගමට යන්න අපූරු තාර පාරක් තියෙන වුනත් ....මගදි හම්බවෙන සොහෙන් පිට්ටනිය පහුකරන් යන්න හිතේ  තියෙන බය නිසාම මං තෝරගත්තේ මේ 
19 තේ කෑල්ල හරහා ගමට යන්න පුළුවන් අඩිපාර . තේරීම වැරදී කියයල හිතුනේ බස්එකෙන් බිමට අඩිය ති‍යපු වෙලාවෙමයි , ඒත් දැන් පරක්කු වැඩී. 
                             මොකෙක් හරි එකෙක් ලග ඉදන් ඇගිල්ලෙන් ඇහැට ඇන්නත් පේන්නේ නැති තරමට කළුවරයි . තද වැස්ස නැවතිලා තිබුනත් ඝණ සැරේට මීදුම මදිවට පට්ටම හීතලයි ........... මාමාට දෙන්න කියල දීපු රෙරන්කෝට් එක බෑක් එකෙන් එලියට අරන් ඇද ගත්ත .ෆෝන් එ‍කේ ටෝච් එක ඔන් කරන් මහ පාරෙන් ,අඩි  පාරට අඩිය තිබ්බේ මෙච්චරවෙලා නැවතිලා තිබුන වැස්ස විදුලිකොට කොටම ආයෙත් පටන් ගන්නවත් එක්කමයි . 
                             වෙලාව රෑ දහයට නැත්තං දහය හමාරට විතර ඇති .
ඔන්න දැන් "කොල්ලෙක් රෑ  දහයට කොල්ලෙක් මහ වැස්සේ පාළු තේ වත්තක් මැද්දේ , මනුස්ස පුළුටක්වත් හොයාගන්න නැතුව " ,බො‍හොම ඈතින් තිබුනු ලැයිම් පේලියක තිබුන  ගෙදරකින බේරිලා එන චිමිනි ලාම්පු එලියක් හැරුනම ඇහැ නිවා ගන්න කිසිම දෙයක් නෑ .සැරින් සැරේට පලාතම දම්පාට කරගෙන මතුවෙලා නැතිවෙන විදුලි එළී වලින් ,තේවත්ත මැද්දේ තිබුන මාර ගස් පෙනුනේ මගේ ඇගට පනින්න බලාන ඉන්න රාක්ෂයො විදිහටයි . කාලෙකට කලින්, මං ගමේ ඉස්කොලෙට යන කාලේ මේ වත්ත ඇතුලේ මාර ගහක එල්ලිලා මැරිල හිටපු , ඉස්කෝලේ ඇරිල එන කොල්ලෙක් හොයගත්තු දෙමල කෙල්ලව මගේ මතකෙට ආවේ මේ වගේ විදිහට වටපිටාව හැදිල තියෙන කොටයි.
මොන තරම් හිත හයිය වුනත් ඒ වෙලාව වෙනකොට මට සැරින් සැරෙට පිටිපස්සටත් ටෝච් එක ගහල බලන්නේ නෑතුව යන්න හිත දුන්නේ නෑ . .... ඔළුව යකාගේ කම්මල වගේ වෙලා තිබ්බ ඒවෙලාවේ කෝල්කරපු පියුමි නංගිට පින් සිද්ද වෙන්න ඔනේ ,
" චූටි අයියේ කොහෙද හලෝ ඉන්නේ ??? අද එන්නේ නැද්ද ..... 11.00 ත් වෙලා " 
" ඔහොම ඉන්නව ! මං මේ මග ............... 19යේ මුදුනේ ඉන්නේ "

" මොනව !!!!!! පිස්සුද හැබෑටම මේ මහරෑ කැලෑවල රිංගන්න. "
" ඉන්න ඉන්න දැන් එනව "
" අනේ..... වල් ඌරෙක් පැනපිය ඉස්සරහට ...... එලිවෙනකං ගහක් උඩ ඉන්න "
" තුහ් ...... නොදකින් විතරක් කට !"
" හී හී.......... ඉක්මනට එනව පරිස්සමෙන් " 
දැන් හිතට ෆිට් ...... ඔනේ අට මගලක් කියල ආයෙත් යන්න පටන් ගත්ත . කොහොමෙන් කොහොම හරි ....... දහ නවය තේ වත්තේ මුදුනට ආවා ...වෙලාව දොලහට කාලයි .වැස්ස නැවතුනත් පොද ගහනව ..... 
                                 කන්ද මුදුනට පය තියපු වෙලාවේ ඉදන් මහ අමුතු විදිහට සීතල වැඩිවුනා, මල මිනියක් බදාගෙන ඉන්න සයිස් එකට සීතලයි , කටින් දුම් පිටවෙන ගානට ...... මේතරම් සීතලක් මෙච්චර වෙලා තිබුනේ නෑ ,තව විනාඩි දහයක ගමනක් තමයි ඉතුරුවෙලා තියෙන්නේ . 
                       මුදුනට වෙලා ටිකක් හිටපු මං ආයෙත් ගමන පටන් ගත්ත .ඒත් වැඩි වෙලාවකට නෙවෙයි,ඒ  මෙච්චරවෙලා ආපු අඩි පාර හරස් කරගෙන  පර්වථයක් වගේ මගේ දිහා බලාගෙන හිටපු මී හරකෙක් නිසා .අයාලේ යන උන් නැති වුනත් මී හරක් අපේ ගමට අළුත් ස‍ත්තු ජාතියක් නෙවෙයි , එත් තේ වත්තක් මැද්දේ මී හරකෙක් !! ටිකක් අමුතුයි , මොකද උන් කොළ කන්න කැමති සත්තු ජා‍තියක් නෙවෙන නිසා .ඒ මදිවට පාරත් හරස් කරන්. ටිකක් වෙලා බලන් හිටියත් මූ අහකට යන පාටක් නෑ , යන්න වෙන පාරකුත් නෑ ඒ නිසා මට කරන්න තිබුන එකම දේ මූව එලවලා දාන එක .මොනව උනත් ළගට යන එක අවුල් වගේ නිසා මං කලේ තඩි ගලක් ඇරගෙන හරකට කෙලල ඇරපු එක . අමුතු  විදිහට පිඹල මගේ දිහා බලපු සතා පාරෙන් අයින් වුනා ........ ඒත් දැන් අළුත්  බාධාවක් මතුවෙලා .
                                          මෙච්ච වෙලා ඇවිදන් ආපු අඩිපාර ...... එක අතුරුදහන් වෙලා ..... මං හිටන් ඉන්නේ නිකම්ම නිකං තේ ගස් ගොඩක් මැද්දේ ! ඒ පාරනං ඔළුව හොදටම අවුල් වුනා .......... හොදටම විස්වාසයි හරකට ගල් ගැහුවේ අඩිපාරේ ඉදන් කියන එක, ඒත් දැන් මං කොහෙද මන්ද වෙන තැනක ..... නෑ වෙන තැනක වෙන්න බෑ ... එතනමයි . මොකද හරකා ඉන්නේ මට පේන මානේ....... ඒත් පාර නෑ . බැග් එකත් එල්ලගෙන එහේ මෙහේ කැරකුනේ පාර හොයන්න ...එත් කෝ ....... . මේවෙනකොට මට , මෙතන වෙන්නේ මහ අමුතු දෙයක් කියල තේරිලා ඉවරයි . මොනපැත්තට මොන තරම් දුරක් ගියත් මට අර කියපු මී හරකාව පේන මානයෙන් එහාට යන්න බෑ , කොච්චර දුර ගිහින් හැරිලා බැලුවත් ඌ කලින් දැක්ක දුරින්ම මගේ දිහා බලාගෙන ඉන්නව . පාර‍හොයන එක පැත්තක දාපු මං දැන් උත්සහ කරන්නේ හරකව මග අරින්න . ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල මට තේරුනේ පැයක් විතර ඔහේ ඇවිද්දට පස්සේ .අන්තිමට බැරිම තැන මං ගිහින් උස ගලක් උඩ වාඩිවුනේ එලිවෙනකන් ඉන්න හිතාගෙන, කළු මී හරකා තාමත් මගේ දිහා බලාගෙන . පොඩි පොඩි ගල් කැට අරන් මං ඉන්න තැන ඉදන්ම ඌට ගැහුව , වදින වදින හැම පාරකටම මූ නයෙක් වගේ පිඹිනව, එත් හෙල්ලෙන්නෙවත් නෑ .එතන මොන තරම් වෙලා ඉදන් හිටියද , අන්තිමට මතක තිබ්බේ කවුදෝ කට්ටියක් මගේ නමකියල කෑගහන සද්දෙත් එක්කම අර මී හරකා පිඹගෙන මගේ දිහාට දුවගෙ ඇවිත් මගදි අතුරු දහන් වුන හැටිත් ,මං ගල උඩ ඉදන් බිමට පැන්න හැටිත් විතරයි .
                              ඇහැරෙන කොට මං හිටියේ ... ගමේ අපේ ගෙදර කාමරයක , ආච්චි අම්ම මගේ දිහා බලාන හිටියා.
" මොකද මගේ පුතේ උනේ "

"‍ අනේ මන්ද ! කොහෙද යන මී හරකෙක් නිසා පාර වැරදුනාද කොහෙද ... අන්තිමට ඌ මගේ පැත්තට දුවගෙන එනකොට පැනපු එක විතරයි මතක ,,,,,, කොහොමද ‍මං ගෙදරට ආවේ ? "
" අපි ගිහින් අරන් ආවා .......... පාර වැරදුන විදිහ තමයි හිතා ගන්න බැරි , උඹ ගලක් උඩ ඉදන් පනිනව අපි දැක්ක .... ඒ ගල  පාමුලින්නේ අඩි පාර යන්නේ .... අනික මී හරකෙක් හිටියේ නෑ .............. "
"ඌ කොහෙට හරි යන්න ඇති"
"මොන පැත්තට ඇවිද්දත් හරකව මග අරින්න බැරිවුනා නේද ?"සීයත් කාමරේට ආවා .
" කොහොමද ඒක දැන ගත්තේ !!!!! ඌ මගේ පස්සෙන් එන්න ඇති " 
" උඹේ කේන්දරේ බලගතු නිසායි , උඹ උපන්නේ  රාස්ස ගනෙන් නිසායි  පුතේ බේරුනේ නැත්තං මහසෝන් පිල්ලියට ගල් ගහපු එකෙක් බේරෙනව බොරු "
" මහසෝන් පිල්ලි !!!!! ගල් ගහපු එකත් දැක්කද ? "

" පිස්සුවෙන් වගේ  මොකකටදෝ ගල් ගහනව අපි ඈත තියාම දැක්ක "




ප.ලි - කථාව 100% සත්‍ය වන අතර .... මෙහි මම යනු මමම වෙමි . මහසොනා හෝ වෙනත් අයෙක් හෝ අදුර හා හිතේ වූ බිය නිසා දුටවක් වේවා , පැය කීපයකට හෝ මහසෝනා හමුවන්නටත් ඌට ගල් ගසන්නටත් මා සමත්වූවෙමි. පසුදා එලිවනතෙක් මහසෝනාට මී හරකෙක්ගේ වෙස් ගන්නට හැකිබව මා නොදැන සිටියෙමි . ඒබැවින් ඒ ඒ රාත්‍රියේ මුනගැසුනේ මහසෝනාම විය යුතුය . 

ප.ප.ලි - යලි මහසෝනා හමුවූයේ නැත.
 

Sample text

Sample Text

Sample Text