Social Icons

හොයමු බලමු

Monday, May 13, 2013

විප්ලව වාදියෙකුගේ ආදරය - තෙවන දිගහැරුම ( රන්තැටිය පිරිවෙනට )



කලින් කොටස් බැලුවේ නැද්ද -

විප්ලව වාදියෙකුගේ ආදරය - පලමු  දිගහැරුම 


විප්ලව වාදියෙකුගේ ආදරය - දෙවන  දිගහැරුම 


තෙවන දිගහැරුම

දෙන්නෙක් දෙපැත්තෙන් උස්සගෙන යන තාත්තව  දැකලා උහුලං ඉන්න පුලුවන්  මොන පුතාටද ! උපන් දවසේ ඉදලා අද වෙනකං මේ තත්වෙට ගේන්න තාත්තා මොන තරං මහන්සි උනාද . වේලක් ඇර වේලක් හරි කනන්න දුන්නා , ගමටම ණය වෙලාහරි  ඉස්කෝලේ ඇරියා . 

                               කුඹුරේ වී ටික ඉවර වුන කාලෙට මංඤ්ඤෝක්කා  ලුණුත් එක්ක කන්න වෙන එක අවුරුද්දේ එක කාලෙකදි  කොහොමටත් වෙන දෙයක් . ඒ කාලෙදී දවස් දෙක තුන තාත්තා වතුරයි තේ කහට කෝප්පෙකුයි බීලා හිටපු වෙලා තිබුනද  , ආදරේ මහ ලොකුවට පෙන්නුවේ නෑ තමයි දෙයියනේ , ඒ උනාට ඒ පපුව ඇතුලේ තිබුන ලෙංගතුකම මහමෙරක් වගේ . 
                               මතකද පොඩිකාලේ ,‍වෙසක් පෝයට ලෝකානන්ද පන්සලට ගියාම පලාතටම තිබුන එකම  බල්බ් එකේ ස්වීච් එක දාන්න දෙන එක . හැම එකාම සත පනහ ගානේ දීලා තිබුන එකම බල්බ් එකේ ස්විච් එක දානවා දැකපු දවසේ  අතේ තිබුන එකම රුපියලෙන් අපි දෙන්නෙකුට ඒ ස්විච් එක දාලා බලන්න දීපු විදිහ . අපේ අතින් බල්බ් එක පත්තු වෙද්දි තාත්තගේ මූණ ඊටත් වඩා දිලිසුන විදිහ .
                                                     මතකයි ‍තාත්තේ!!! පොඩිකාලෙ , පොඩිම කාලේ ...... ඉස්කෝලේ ඇරිලා ගේට්ටුව ගාවට එන අයිස්ක්‍රීම් කාරයා ගාවට වෙලා අයිස් ක්‍රීමක් ගන්න සත දහයක් නැතුව  මං අඩනකොට තාත්තගේ ඇස්වලටත් කඳුලු පිරින හැටි .
" අඩන්නනැතුව හිටිං කොල්ලෝ උඹට කවද හරි ‍අයිස් ක්‍රිරිං ලොරියක් අරන් දෙනවා " කියලා මාව නලවපු හැටි . 

                                      තාත්ත වින්දේ දුක විතරයි , සතුටකියන දේ  යන්තංවත් විදින්න  බැරි  උනා , සන්තෝසෙන් හිටියනං හිටියේ  රා ඩිංගක්  තොල ගාගෙන සුරුට්ටුවක් උරපු වෙලාවල විතරයි . දඹදිව යන්න මගේ රත්තරං තාත්තා මොන තරං ආ‍සාවෙන් හිටියද , කැලනි පන්සලට තව පාරක් යන්න , අටමස්ථානේ වඳින්න , නාගදීපේ යන්න ........ කොළඹ කොටුවේ යන්න , අපේ පැලට ලයිට් ගන්න ......... මං කලිසං ඇදලා රස්සාවක් කරනවා බලන්න .......  නැගිටින්න තාත්තේ , දෙයියන්ගේ නාමෙට නැගිටින් .
                                  කරන්න බැරි උන දේවල් තව ගොඩක් තියෙනවා අනික අම්මා තනි කරලා යන්න එපා තාත්තේ , එයා පවු ,  හිත හදාගෙන හිටියේ තාත්තා කෙලින් නිසා . පියල්ගේ ඇස් දෙකෙන් කදුලු වැටෙන්නේ මොසම් කාලෙට කදුකරේට වැටෙන වැස්ස  වගේ .
                                         තමන් මොන විදිහට ගිහින් පාං වෑන් එකට කථා කලාද කියලා පියල්ට මතක නෑ ........ එත් පැය භාගයක් වගේ වෙලාවකින්  කුරුදුවත්තට ඇවිත්   පුලුවං තරං ඉක්මනට තාත්තව ඉස්පිරිතාලෙට ඇතුල් කලා . වෙන්නේ මොනවද කරන්න ඕනේ  මොනවද කියලා පියල්ට තේරුමක් නෑ , කොට බංකුවක් උඩට වෙලා වාඩිවෙලා අඩන අම්මව තුරුල් කරං හිටියා හැරෙන්න කර කියා ගන්න  දෙයක් ඉතුරු වෙලා නෑ . අයියලා දෙන්න දොස්තර ගාව .
                             ඉස්පිරිතාලේ කොරිඩෝවේ කැඩුන සිමෙන්ති පොලව ඇඟිල්ලකින් පහුරුගගා බඩගින්නෙම  පැය ගානක් ගිහින් . ඈත කොරිඩෝවේ කොණකින් දොස්තර මහත්තයා මතුවුනේ ‍කළුම කළුපාට වලාකුලකින් මූණ වහ‍ගෙන , කොහේදෝ ඇතක ඉදන් සොඳරි කෑගහනව ඇහුන අම්මා බය වෙලා වගේ ඔළුව ඉස්සුවේ සොඳරිගේ සද්දෙත් එක්ක ගේන පණිවිඩේ මොන වගේ එකක් ද කියන එක  අනුමාන කරන්න තිබුන බය ඇස්දෙකෙන් බේරෙද්දී.
" පුතාලායි මේ අම්මයි අපිට සමා වෙන්න ඕනේ ............... අපිට සියදෝරිස් අප්පුව බේරගන්න බැරි උනා " 
                                 මුලු ඉස්පිරිතාලෙම දෙදරලා යන තරං හයියෙන් අඩන්න පටන් ගත්තු අම්මගේ සද්දේ පියල්ට ඇහුනේ නෑ . ඈත ඉදන් කෑගහපු සොඳරි ළඟට ඇවිත් කෑගහන්න පටන්  ගන්න සද්දේ ඇහෙන්නේ නෑ , මුලු ලෝකෙම හිස් වෙලා ගියා ............... වතුර වීදුරුවක් වත් පොවන් කලින් තාත්තා ලෝකේ දාලා ගියා නේද කියන සිතුවිල්ල විතරක් හිතේ තෙරපෙනවා . 
                                 තමන් උසස් පෙලට  ඉස්කෝලෙ යන්න ගත්තු දා ඉදන් තාත්තා  උඩහ කඩේ වත්තෙත් වැඩ කරන්න ගත්තේ ලාවට ලාවට තිබුන පපුවේ අමාරුව සලකන්නේ නැතුවයි . ඒ සල්ලි හෙව්වේ මං වෙනුවෙන් , තාත්තා මැරුනේ ........ මං හින්දාද !!!!!!  අයියලා දෙන්නා අම්ම සනසන අතරේ ඉස්පිරිතාලේ ඉස්සරහා තිබුන ඇහැල ගහට බර වෙවච්ච පියල්ට ඇස්වලින් උතුරන ලුණු රස කඳුලු නවත්තන්න පුලුවන් උනේ නෑ , නවත්තන්න ඕනේ උනෙත් නෑ .
                          හැමදාම අඩලා පුරුදු උනාට අද එන කඳුලු එන්නේ ඇට මස් ලේ නහර හැම එකක්ම උණු කරගෙන , ඇවිදින්න කකුල්වලට පණ නැති කරගෙන .
                        මරණයට හේතුව හදිසි හෘදයා බාදයක් ලු .......... දොස්තර මහත්තයා කිව්වේ එහෙමයි , ඔවු ඉතින් එයා දන්නේ අන්තිම ටික විතරයිනේ ...... ඔය හදවත මොනතරං දුක් වින්දද කියලා එයා දන්නේ නෑනේ ...... නෑ ..... හදිසි එකක් නෙවෙයි ..... කාලයක් තිස්සේ හැදෙන්න තිබුන එකක් .

************************************************************************************************************

" තාත්ත‍ගෙ මළ ගේ ඉවර වෙලා දැන් සති දෙකකුත් කිට්ටුයි නෙද බං " තිලක් , පියල්ට කිට්ටු වෙලා ඇහුවේ ගෙවල් පහල ඔය ගාව තිබුන ගල් තලාවට වෙලා ගලාගෙන යන වතුර දිහා කිසිම හැඟීමක් නැතුව බලාගෙන ඉන්න අතරෙයි .
" ඉස්කෝලේ එන්න කාලේ හරි නේද ? "
" දන්නේ නැ බං !!!! "
" දුකයි තමයි බං !!! තාත්තාට උඹව යවන්න ඔනේ ‍වුන තැනක් තිබුනා එතෙ‍න්ට යන්න නං උඹට දුක අමතක කරලා වැඩ කරන්න වෙනවා ."
" ඉස්කෝලෙ යන්න හිතක් නෑ බං " 
" එහෙම කියලා බෑනේ "
" උඹට තේරෙන්නේ නෑ !!!! උඹනං ඉස්කෝලේ වැට මානේ .......... මං ...... මාසෙකට තිස් හතරක් දීගෙන සීසන් එකෙං එන්න ඔනේ .. කෝ බං සල්ලි , අම්මා තේ වත්තේ වැඩකරලයි අයියලා කුඹුරු කරලයි ගන්න සල්ලි එකතු කලත් විසි පහකට වඩා එන්නේ නෑ . බස් එකට විතරස බං , පොත් , ඇඳුම් , සපත්තු තව තව ඒවා ........ කොහොමද බං මං ඉස්කෝලේ එන්නේ . මං ඉගනගෙන ඉවරයි තිලක්  ."
                                       කියන්න දේවල් ගොඩක් හිතට ආවත් පියල්ගේ ගැටලුව ඒ එකකින්වත් විසඳන්න බැරි බව තිලක්ට තේරුනා . ඉදන් හිටපු තැන තිබුන සුදු  වැලි ගොඩ අස්සට අත දාලා අහුවුන ගල් කැටයක් අරන් ඔය මැදට වීසී කලේ යාළුවා වෙනුවෙන් හිතට ආපු අවංක දුක නැති කරගන්න වෙන විදිහක් දැක්කේ නැති නිසා.
" දිනූ ඇවිත් හිටියා මලගෙදර ........!!!!! උඹ කථා කලාද ?  " 
" හ්ම් ......... වචන දෙකතුනක් "
" කෙල්ල දවස් හතර පහක්ම ආවා ......... තාත්තා දිහා බලාගෙන ඇස් රතු කරං ඉන්නවා  දෙතුන් පාරක්ම මං දැක්කා , නොකිව්වට ඒකි උඹට ආදරෙයි බං , කෙල්ල වෙනුවෙන් වත් කොහොම හරි ට්‍රයි කරපං ඒ ලෙවල් ගොඩ දාන්න .......... ඊට පස්සේ ගොඩමනේ බං "
" මං වගේ  හිඟන්නෙක් බදීද බං ඒ කෙල්ල , ඒකි කෝටිපති නෙවෙයි  තමයි , මගේ ජාතියේම තමයි , ඒත් ජීවිතේ තැනකට එන්න බැරි නං මං කවදාවත් කසාද බදින්නේ නෑ , ගෑනියෙකුයි පිරිමියෙකුයි  දෙන්නෙක් දුක් විදිනකොට පිරිමියාට දැනෙන දුක වැඩී බං ...... මොනව උනත් අර විදවන්නේ තමං වෙනුවෙන් හැම දේම දාලා ආපු ගෑනි නේද කියලා හිතෙනව....... "
........... තිලක්ට එක දෙයක් තේරුනා ......... මොන දේ කියලා උනත් පියල්ගේ හිත වෙනස් කරන එක අමාරුයි කියලා .වෙනස් කලත් පියල්ට ඉස්කෝලෙ එන්න තියෙන මූලික අවශ්‍යතාවත් නෑ කියලා .  
අතමැත්තෙන් හරි කැමත්තෙන් හරි පියල්ට උනේ රුපියල් තිස් හතරක් නිසා පාසල් ජීවිතේට තිත තියන්න .
******************************************************

" පියල් පුතේ ............... දැන් මොනවයි කරන්න හිතාගෙන ඉන්නේ " ලොකානන්ද පන්සලේ ලොකු හාමුදුරුවෝ පියල්ගෙන් ඇහුවේ තාත්තගේ මරණින් මාසෙකට විතර පස්සේ .
" දන්නේ නෑ හාමුදුරුවනේ .......... සිතා ගන්න බෑ ..... අයියලාට උදව් කරගෙන ඉන්නයි බැලුවේ "
"  මොඩයෙක් වෙන්න එපා බොල ......... උඹ හොඳට ඉගෙන ගන්න පුලුවන් එකා " 
" ඒත් හාමු......... "
" එත් කථා වැඩක් නෑ ......... මං සුමනා හාමිට කථා කරන්නංකෝ උඹට කුරුවල් කරන එක නවත්තපං කියලා කියන්න "
" එහෙම එකක්  අම්මට කිව්වොත් තවත් අඬයි හාමුදුරුවනේ ......... ඉස්කෝලේ යන්න බැරි ඇයි කියලා ඔබ වහන්සේට තේරෙනවනේ "
" හම්............................ " හාමුදුරුවෝ ටිකක් වෙලා කල්පනා කලේ අත්දෙක පිටිපස්සට බැඳගෙන කාලෙකින් හුණු පිරයම් කරන්න බැරි වුන පන්සලේ ඝාණ්ඨාර කුලුන දිහා බලන ගමන් .
" උඹ ඉගෙන ගන්න ආසද,............. " පියල්ගේ ඇස් දෙක ඉබේම නැවතුනේ  බුදුගේ ඇතුලෙ ඉදන් ශාන්ත විදිහේ මද සිනාවකින් තමන්  දිහා බලන් ඉන්න පිලිම වහන්සේ ගාව .  ඒ දිහා බලාගෙන පියල්ට බොරු කියන්න බෑ .
" එහෙමයි "
" හ්ම් ............. එහෙනං පිලියමක් තියෙයි !!!!!! හැබැයි උඹට ඉගෙන ගන්න පාර වෙනස් කරන්න වෙනවා "
" ඒ කියන්නේ හාමුදුරුවනේ " පියල් ඇහුවේ හාමුදුරුවන්ගේ කථාව නිසා බලාපොරොත්තු පොදි බැඳගත්තු හිත තැලෙයිද කියන බයත් එක්කයි  .
" උඹට දොස්තර කෙනෙක් වෙන්න වෙන්නේ නෑ ........... මොකද මං උඹව යවන්නේ ගම්පොල රන්තැටිය පිරිවෙනට ...... එතන උඹලට උගන්නන්නේ කලා විශයන් විතරයි කොල්ලෝ . දොස්තර හීනේ අහක් කරගෙන පුලුවන් විදිහකට ඉස්සරහට පලයං ......... දිසාපති කෙනෙක් වෙලා මේ ගමට එන්න පුලුවං වෙයි උඹට හරියට වැඩ කරගත්තොත් "
                                                 එල්ලෙන්න වැලක් නැතුව හිටපු පියල්ට මොන දොස්තර හීනද කියලා හිතුනා . කොහොම හරි උපාධිය කරගත්තෝත් පවුල විදින මේ නරා දුක නැති කරගන්න පුලුවන් වෙයි නෙද් කියලාහිතුනා  ! ඒත් . පියල් ගියොත් අම්මලා තනියෙං . පිරිවෙනේ ඉගෙන ගන්න වෙන්නේ නැවතිලා නිසා හරි අමාරුවෙයි ගෙදර ඇවිත් යන එක .
" දියුනු වෙන්න නං ගෙදරින් යන්නම ඔනේ පුතා ........... උඹ නෑ කියලා ගෙදර මිනිස්සු මැරෙන්නේ නෑ! හිටියා වගේ ඉදී ........ ගිහින් ලෑස්ති වෙයං අම්මටත් කියලා . මං උඹව හෙට පිටත් කරනවා . කල් ඇරලා බෑ , ලියුමකුත් එක්ක දායක මහත්තයෙක්ගේ වාහනේ පිටත් කරලා අරින්නං . උදේ හතට වරෙං , එච්චරයි . "
" හෙට ...........!!!!!!!! " පියල් මෙච්චර ඉක්මනින් වැඩේ වෙයිකියලා හිතුවේ නෑ .....
" ඔවු හෙට තමයි ...... උඹ ආවෙ නැත්තං දිගටම පන්සල් නෑවිත් හිටපං පුතා " හාමුදුරුවෝ ආවාසෙට ගොඩවුනේ එහෙම කියාගෙනම පියල්ට උත්තර නැති කරගෙනයි .
                                           හොඳට දැකලා පුරදු පාර දෙපැත්ත හොඳටම බල බල පියල් පාරට අඩිය තිබ්බේ හෙට ඉදන් පටන් ගන්න ජීවිතේ නිසා මොන වගේ වෙනසක් ඇතිවෙයිද කියන ප්‍රශ්නේ හිතේතද කරගෙන . මං ගියොත් අම්මලාට මොනව වෙයිද ?  කල්පනාව වැඩි කමට දෙතුන් වතාවක්ම තිරුවානා ගල් වලට කකුලත් කැපිලා ගියා. මොන තරං හිත තද කරං ආවත් ගේ පේන මානෙදි පියල්ට කඳුලු හිර කරලා තියාගන්න පුලුවන් උනේ නෑ .
                                  හිතේ දුක වැඩි උනේ පිලිකන්නට වෙලා කොස් ගෙඩියක මදුලු ගලව ගලව හිටපු අම්මගේ දාඩිය පිරුණ මූණ දැක්කාම. කොන්ඩේ අවුල් වෙලා කකුල් පැලිලා , කළු‍ත් වෙලා ........ තාත්තා නැති මාසෙට අම්මා අවුරුදු දහයකින් වයස ගිහිං .
" අම්මේ " මොන තරං වැඩ තිබුනත් තමංගේ පුතාගේ බිදිලා ගියපු ස්වරය අඳුන ගන්න අම්මට බැරි උනේ නෑ . කිසිම අම්මෙකුට ඒක බැරි වෙන්නෙත් නෑ . 
" පුතේ " අම්මගේ මූණ අනුකම්පාවෙන් වගේම පුදුමෙනුත් පිරිලා තිබුනේ හේතුවක් නැතුව ඇස් රතු කරන් ඉන්න පවුලේ බඩ පිස්සව දැකලා .
" දවල්ට කොස්ද ? " 
" හ්ම් ......... පහල වත්තේ තිබුනේ ........ රෑටත් පිරිමහ ගන්න පුලුවන් වෙයි "
" දෙයක් කියන්න තියෙනවා "
" තේරුනා ‍පුතේ !!!!!! ඒත් කිව්වේ නෑනේ තාම " අම්මා කිව්වේ ‍කාලෙකට පස්සේ ලාවට හිනාවෙන ගමන් .
" හාමුදුරුවෝ කියනවා මට ගමෙන්  යන්නලු "
" මොනවා ........ අර උඹ මොන වැරද්ද කලාටද ? ගමෙන් එලවන්න හදන්නේ "
" නෑ නෑ !!!!! රන්තැටිය පිරිවෙනට ගිහින් ඉගෙන ගන්නලු , හාමුදුරුවෝ කථා කරලා දෙන්නං ලු ,  දිසාපති කෙනෙක් වෙලා වරෙං කියලත් කිව්වා ."
 අම්මගේ ඇස් දෙකට කඳුලු පිරිලා එන්න තත්පර දෙකක්වත් ගියේනෑ .....කොහොල්ල අත්දෙකෙන්ම පියල්ගේ ඔළුව අල්ලගෙන ඉම්බා . 
" හාමුදුරුවෝ බුදු වෙන් ඕනේ මේ කරන්න යන කුසලෙ බලෙන් . මයේ පුතේ උඹ යන්න ඔනේ !!!!! ගිහින් තාත්තා ආසාවෙන් හිටපු ඒ දේ කරපං පුතේ , උඹට වරදින්නේ නෑ"
" ඒත් අම්මේ මං ගියෝත් අම්මලා ............."
" අපිට මොකද්ද .......... උඹට අපිව බලන්න එන්නත් බැරියෑ........ මේ ඉනන විදිහටම ඉන්න  බැරියෑ " අම්මගේ ඇස් දිලිසෙන්නේ හදිස්සියේම ලැබුන සතුටුදායක ආරංචිය නිසා . .........
" එත් ........ " 

" හිතන්න එපා මයේ පුතේ .......... උඹ ලොකු මහත්තයෙක් උනාම කාටද ආඩම්බර ......... මට නේද !!!! පලයං පුතේ ...... කවදද එන්න කිව්වේ හාමුදුරුවෝ ........."
" හෙට "




විප්ලව වාදියෙකුගේ ආදරය  - සිව්වන් දිගහැරුම
වි‍ජේවීර හමුවීම හා රෝසමලට පණ දීම ........... තවත් දෙදිනකින් බලාපොරොත්තු වන්න 


Saturday, May 11, 2013

විප්ලව වාදියෙකුගේ ආදරය - දෙවන දිගහැරුම ( විප්ලවයක ඇරඹුම )






විප්ලවයේ  මතක - 

.................... තවත් විශාල පිරිසක්‌ අත්අඩංගුවට ගත්හ. අප සමග එකට සිරබත් කෑ එක්‌ සාමාජිකයකු පොලිස්‌ පහර කෑම් නිසා සිර කුටියේදීම අවසාන හුස්‌ම පොද වාතලයට මුසු කිරීමට මොහොතකට පෙර සිර කුටියේ බිත්තියේ සටහන් කළ කවි පද හතර මගේ මතකයෙන් තවමත් මැකී ගොස්‌ නොමැත.

මැතිවරණයෙන් ජන රවටන ලද බලය

උරුමෙන් ලද ද තී යෙදුවේ යුද බලය

තරුණන් මැරූ සුදු අදිරද සුරතලිය

මරණෙන් පසුත් ගන්නෙමි ලේවල පලිය


කලින් කොටස කියෙව්වේ නැද්ද ?

දෙවන දිගහැරුම

කොහේදෝ  පාවෙලා යන රස්තියාදුකාර හුළඟකට ඔච්චම් කරන්නා වගේ අපූරුවට දඟ කරන සුදු රැලි ගවුම ඉර බැහැගෙන යන ලස්සනත් එක්ක එකතු වෙලා මැව්වේ අමුතුම විදිහේ සුන්දරත්වයක් . හුලං පාර නිසා ඔහේ පාවෙලා ගිහින් මූණට වැටුන කෙස් රොදක් වම් අතින් හුරුබුහුටි විදිහට කණ පිටිපස්ට කරන් එන හැඩ , මුලු දවසම බලාගෙන හිටියත් ඇ‍ති වෙන්නේ නැතිවෙයි කියලයි පියල්ට හිතුනේ .  
                                                      මතකේ තියාගෙන ගෙදර ගිහින් රස විදින්න පුළුවන් තරමේ  අපූරු කෝමළ රේඛා දහදාහක් ඒ රූපේ ඇතුලේ තියෙනවා . හැම රේඛාවකින්ම පුදුමාකාර ලාලිත්‍යක් එකතුවුනා . පියල්, ජීවිතේ පලවෙනි වතාවට ඇස් අහක් කරගන්න බැරි තරම් ලෝභ කමකින් ගෑණු ලමයෙක් දිහා බලාගෙන.

" මොනතරං වතුර තිබුනත් සීතගඟුලේ තියෙන වතුර තරං රස වතුරක් වෙන කොහෙවත් නෑලුනේ බං , කවුද අකමැති සීත ගඟුලේ වතුර ටිකක් බොන්න නේද !!!!!  "
තිලක් ඇහුවේ පියල් දිහාත් ඇවිදන් එන ගෑණු ළමයා දිහාත් ටිකක් වෙලා බලාගෙන ඉදලා . 
" මං දෙයක් කියන්නද ? "
" මොකද්ද ? " 
" මට උඹව හම්බ උනේ අද තමයි බං . ඒ උනාට උඹ කවුද කියන එක  හොඳටම තේරුන් ගන්න ඒ වැඩිත් එක්ක , උඹ ඒ තරං විනිවිධ පේනවා ."
" හැබෑට ! " පියල් හිනා වෙනවා 
" හැබෑව තමයි යකෝ , උඹේ වට්ටියට හරියන්නේ ඔය එනවා වගේ මලක් තමයි බං "  ඒ කථාවට නං පියල්ගේ හිනාව නැතිවෙලා ගිහින් ටිකක් විතර බැරෑරුම් පෙනුමක් ආවා .
" උඹ දැඩිමුන්ඩ දේවාලේ දන්නව නේද ? , ගෙලිඔයේ තියෙන්නේ ! "
" ඉතිං "
" හැමෝටම ගිහින් පූජාවට්ටි තියලා එන්න පුලුවං  තමයි , එත් ......"
" එත් ? " 
" ඒත් , කපු මහත්තයා දේවාලේ දොර ඇරලා ඇතුලෙන් පූජාව ගිහින් තියන්න දෙන්නේ ‍බොහොම ටික දෙනෙකුට විතරයි බං , දෙයියෝ කැමති උනත් නැතත් ළඟින්ම පූජාව තියන්නේ කපු මහත්තයා කැමති මිනිස්සු විතරයි "
"  හැම කපුවම නරක නෑ , අනික මේ දේවාලේ කපුව ගැනවත් දේවාලේ ගැනවත් මොනවත් දන්නෙනෑනේ උඹ  !!! " පියල් හිනා උනා විතරයි .
                              ගෑණු ළමයි ටික යාළුවෝ දෙන්න හිටපු තැනය මීටර් දහයක්  විතර ඈතින් තිබුන ලංගම ෂෙඩ් එක ගාව නැවතිලා බරටම වැඩ .කොහෙන්දෝ මන්දා හදිස්සියෙන්ම හිතට ආපු සිතුවිල්ලක් නිසා ඒ ලස්සන ඇස් දෙක හදිස්සියේම පියල්ගේ පැත්තට හැරවුනා .
                                 තත්පර කීපයකට ඇස් හතර හුඟාක් දේවල් කථා කලා . කොහෝදෝ දැකලා තිබුන ගතියක් , මේ ආත්මේ නෙවෙයි කලින් ආත්මේ , පතාගෙන ආපු බවක් . පියල්ට මේ තත්පර දහය දොලහ ජීවිත කාලේ වගේ , කරන්ට් එක  වැදුනා වගේ . සුදු රොස මලත් තත්පර දෙකෙන් රතු වෙලා ගිහින් . හීනි දිග ඇස් දෙක ලොකු කරගෙන පියල් දිහා බලාගෙන උන්නා . ඒ ඇස් දෙකෙන් කියවුනේ පියල්ව අඳුරගත්තු බවක් .
" ලඟදිම ජය සිරි මංගලම් ද කොහෙද ! " තිලක් පියල්දිහා හැරිලා මනමාල හිනාවක් දැම්මා .
" සීසන් එක ගන්න ගම්පොල ඇවිත් උඹට මාව හම්බවුන එකට පින් දීපන් , නැත්තං උඹ දැන් කලින් ආපු බස් එකේ නැගලා සිංහ පිටිය හරියේ ........... උඹේ කුමාරි මෙතන තනියෙන් "
" බයිලා කියවනවා ........... මේ අදම දැක්ක කෙල්ල කොහෙමද බං මගේ කුමාරි වෙන්නේ ! "
                                         සුදු රෝස මල මොන තමන්ගේ යාළුවොන්ට මොනවදෝ කිය පියල්ව පෙන්නුවේ ඇස් දෙකෙන් . මොන තරං වහන් හැදුවත් රෝස මල කරපු දේ පියල්ට හොඳට තේරුනා .
" ආ.........ආ......... දැන් මෙතනින් ශේප් වෙමුද මචෝ ......... කෙල්ලට නෝට් ...... අපි චා වෙන්නයි යන්නේ "
" පිස්සුද පියලෝ ......... ඔහොම හිටපං මුලිං පොඩ්ඩක් චා උනාට මොකද මල වැටෙන්නේ උඹේ වට්ටියටනං "
 මෙච්චර වෙලා මුනු මුනු ගගා හිටපු  ගෑණු ළමයි ටික පියල්ගේ පැත්තට ඇවිදන් එන්න ගත්තේ , තිලක්ගේ විරිත්තිල්ලට හයියෙන් හිනාවෙන ගමන් .
" විකාරද යකෝ .......... චා වෙලා ඉන්න තරම මදිද තොට "
" අනේ පල , ලඟට ආවාම මොනව හරි කියලා කථාවට අල්ලා ගනිං "
තමන්ගේ හදවත ගැහෙන සද්දේ එලියටම ඇහෙන තරමට වැඩිවෙලා ,              
                               මෙච්චර කාලෙකට දැනුනේ නැති ආගන්තුක හැඟීම් කෝටියක් හිත පුරාවට උතුරනවා .ගෑණූ ළමයෙක් නිසා කවදාවත් අමුතු විදිහට  වෙනස් නොවී තිබුන තමන්ගේ හිතට අද මොනවද මේ වෙලා තියෙන්නේ කියලා පියල්ටම පුදුමයි .
                     " ඔහේ යන දිහාවක යයි , මං මොනවත් කියන්නේ නෑ , උඹත් කට වහන් හිටපං ................ "පියල් කිව්වේ බොහෝම සීරුවට තිලක්ගේ කණ ගාවට ලංවෙලා . 
ගෑණු ළමයි ටික ඇවිත් නතර උනේ පියල් තිලක් එක්ක වාඩි වෙලා හිටපු කොට තාප්පේ අයිනෙමයි .
" මේ පියල් අයියා නේද ? " රෝස මල පියල් දිහා බලලා හිනා වෙලා ඇහුවා . වීණා නැත මිහිරි මින් මතු කිසි දිනක මට .......... පියල්ගේ මුලු ඇඟම වෙව්වලා ගියා . නත්තල් කුණාටු කාලෙදි පොරවන්න රෙද්දක් නැතිව නිදාගත්ත දවස් තිබුනත් මේතරං සීතලක් දැනුනෙ නෑ .   
                                                 කොල්ලෙක් ගොලු වෙන්නේ තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ල ගාව විතරයිලු, මොනතරං දේවල් තිබුනත් කියාගන්න බැරි වෙන්නෙත් එයා ගාවදි විතරයිලු. මොන තරං චන්ඩියා උනත් එතනදි යට වෙනවලු  . එකොලහ වසරේ සිංහල උගන්නපු වික්ටර් සර් කියපු මේ කථාව , හිතන්න දේවල් දාහක් තියෙන අතරේ පියල්ගේ හිතට ආවා . 
                             'මෙයා කොහොමද මාව දන්නේ ' පියල්ට ප්‍රශ්නයක් . තිලක් හිනා වෙලා අනිත් ගෑණු ලමයි ගාවට කිට්ටු ‍වුනේ කුරුලු ජෝඩුවට බාධා වෙන්නේ නැතිවෙන්න.
" ඔ..........වු ..... ඔවු , මාව දන්නවද ? " කවදාවත් නැති විදිහට වචන ‍හිර වෙලා , නැත්තං ඇතුලෙන් වචන දාස් ගානක් දොඩමලු වෙලා .
" මතක නැද්ද අයියේ මං දිනූශි ........... අයියලා අපේ ඉස්කෝලෙට ආවේ , අර අපිට ලෙක්චර් එකක් එහෙම දුන්නේ "
                                  පියල් , ‍ජෝසප් බාලිකාවට ගිහින් තිබුනේ එකම වතාවකි . ඒ විවාධ අවසන් තරඟයකටය. ඒත් මේ මුහුණ දැක්ක කියලා කිසිම මතකයක් නැතිය .
" ඩිබෙට් එකකට " පියල් අකුරු එකතු කලා 
" ඔවු........ ඔවු , අයියලා එදා කැන්ඩි ගර්ස් හයි ස්කූල් එක පැරද්දුවානේ ...... හැමෝම හිතුවේ එයාලා දිනයි කියලා . හැබැයි අපිනං හිතුවේ අයිලාට දිනුම ලැබෙන්නම ඕනේ කියලා . අයියා හරි ලස්සනට ටීම් එක ලීඩ් කලා " 
" තැන්කයූ " පියල්ට තවමත් රෝස මල දැක්කේ ඉස්කෝලේ මොන හරියෙද කියලාවත් මතකයක් නෑ .
" තාම මතක නෑ නේද මාව .......... " රෝස මල ටිකක්  දුකින් වගේ ඇහුවේ . " අයියලා ඩිබෙට් එක ඉවර වෙලා මතකද අපිට ,අපේ ඩිබෙටින් ප්ලැටුන් එකට ටිප්ස් වගයක් දුන්නේ කොහොමද විවාදෙයක් දිනන්නේ කියලා "
" හරි .....හරි ..... ඔයාලා නේද ඒ වෙලාවේ අපිට කෑම ඇල්ලුවේ " කෙල්ලගේ හිත රිදවන්න පියල්ට ලෝබයි , ඒ කණා පාර ගැහුවේ ඒ නිසාමයි . 
" අම්මේ ඇති යන්තං මතක් උනා ....... " රෝස මල හිනා වෙනකොට සිරියාවන්තකම කියන්න වචන නෑ . දරාගන්න බැරි සුවඳකින් තමන්ගේ ජීවිතේ සත්මහලම පිරිලා ඉතිරිලා ගිහින්  කියලා පියල්ට දැනු‍නා.
" දැන් මොනවද නංගි ඔයා කරන්නේ ? "
" දැන් දහයෙනේ, තව මාස දා හතරකින් ඕ ලෙවල් " කෙල්ලට ඇත්තේ අමුතුම විදිහේ වචන මාලාවකි . කොහෙන් ඉගෙන ගත්තත් ඒ වචනවල ඇත්තේ පුදුම ආකර්ශනයකි . නැත්තං ඒ පියල්ට හිතෙන හැටි වෙන්නත් බැරිනෑ .
" අපෝ තාම පොඩි උන්නේ " 
" අනේ නිකා ඉන්න ....... අයියා මට වඩා වැඩිමල් අවුරුදු දෙකයිනේ , ඔයා  යන්තං ඇවිදිනකොට මං ඉපදුනා , ඉතිං මහ ලොකු වෙනසක් නෑනේ " පියල්ට තනියෙන් හිනා .
"හම් ......... අයියා ඔලෙවල් ඉවරයිනේ ...... දැන් මොන ඉස්කෝලෙද ? තාම සේනාධිකාරියේද ? ඔලෙවල් අමාරුද අයියේ , මටනං බයයිත් වගේ " 
                               ප්‍රශ්න කෝටියයි , පියල් හැම එකකටම උත්තර දුන්නේ ආ‍සාවෙනි . මේ වගේ ප්‍රශ්න අහන්න කෙනෙක් ලගින් සිටිය යුතුමය . ජීවිතය සම්පූරණ වෙන්නේ එතකොට යි .
                                            දොලොස්බාගේ  බස් එකක්  ඩිපෝවෙන් එලියට දානකොට තවත් පැය භාගයක් විතර ගිහින් තිබුනා . රෝසමලයි පියලුයි මේ වෙනකොට ඉපදුන දවසේ ඉදන් දන්න තරමට යාළු වෙලා . ජීවිතේ උරුමක්කා‍යන් හම්බ වුනාම එහෙම වෙන්න ඇති . මොනතරං නොදන්න නොඅඳුනන දෙන්නෙක් උනත් පුදුමාකාර විදිහට ලංවෙනවා වෙන්න ඇති .
" බස් එක නං ආවා නංගි ............. දැම්ම නඟිමුද , නැත්තං හිටගෙවන තෙරපෙන්න වෙනවා " එක ළඟ සීට් එකක උර හිස  වැදි වදී  රෝසමලත් එක්ක යන්න තිබුන ආසාව නිසාම පියල් ඇහුවා . 
" යාලුවොත් එනවද ? " පියල් ආයෙම ඇහුවේ තිලක්ගේ කොලං වලට හිනා වෙවී හිටපු අනිත් ගෑණු ළමයි දිහා බලන ගමන් .
" අනේ නෑ අයියේ , එයාලා ආවේ මාව බස් එකට දාන්න විතරයි ...... "
කොල්ලට හෙනම හැපිය . රෝස මලත් එකක් පැයක් බස් එකේ එක සීට් එකේ යනවා කියන්නේ ලේසි පාසු වැඩක්ද ! 
                                  තිලක් එක්ක වාහනේ සැපට යන්න හිටියට  මොකද , දැන්  බස් එක ඊට වඩා සනීපයි කියන සිතුවිල්ල පියල්ගේ හිතේ තෙරපෙනවා . 
                            බස් එක දැකපු තිලක් පියල් දිහා බලලා ලාවට හිනා වෙනගමන් ඔළුව ගැසුවේ , බස් ‍එකේ පලයං කියන්න බව පියල්ට උගන්නන්න ඔනේ නෑ .
               දෙන්නත් එක්ක ගිහින් බස් එකේ දකුණු පැත්තේ සීට් පේලියේ මැද හරියේ සීට් එකක ලස්සනට වාඩි උනා . රෝස මලගේ අතින් අල්ලගෙන යන්න හිතට ආපු සිතුවිල්ල පියල් යටපත් කලේ බොහෝම අමාරුවෙන් . කෙල්ලගේ කොන්ඩේ , ජනෙලෙන් එන හුළං පාර නිසා පියල්ගේ  උරහිස උඩ ලස්සනට රටා මවනවා  . ජනේලෙන් එලියේ පේන්නේ හැමදාම දකින  දර්ශනේ උනත් ඒක මේ තරං ලස්සනයි කියලා පියල්ට කවදාවත් හිතුනේ නෑ . 
‍                                   බස් එක නොදැනීම කුරුදුවත්තටත් ආවා , රෝස මල බහින්නයි  යන්නේ ,  මලටත් ටිකක් අමාරුයි වගේ  පියල්ට ඊටවඩා අමාරුයි . කොහොමද දෙයියනේ දැන් මං මේක නොදැක ඉන්නේ . දෙන්නගේ ඉස්කෝල දෙක තිබුනේ ගමන් අන්ත දෙකකය . කවදාවක් එකම බස් එකේ එකට හම්බ වෙන එක පුදුම අහම්බයක්‍. ඇත්තටම වෙන්නම බැරි තරං . දෙන්න බස් එකට නඟින්නේත් හම්බ වෙන්න බැරි තරං ඈත තියෙන හෝල්ට් දෙකකින් .  මෙච්චර වෙලා පිපිලා සුවද දී දී හිටපු රෝසමල එක පාරටම පර වෙලා . කෙල්ලගෙ මූණත් එකක් අමුතු වෙලා .  ඒත් යන්න ඕනේමයි . දෛවය ආදරවන්නතයන්ට සලකන්නේම හරි නපුරු විදිහට .
          දෙන්නගේ පලවෙනි හමුවීමෙන් දැන් මාස තුන හතරක් ගිහින් .......... අහම්බෙන් වතාවක් ආයමත් ගම්පොලදි හම්බ වුනා ඇරෙන්න පියල්ට දිනූව හම්බ වෙන්නවත් කථා කරන්නවත් ලැබෙන්නේ නෑ .

************************************************************************************************************
                       
" අනේ පුතේ ........... ඉක්මනට වරෝ .......... " 
                                දෙසම්බර් සීතල අතරින් අම්මගේ කටහඩ පිපිරිලා ගියේ  පියල්ගේ පපුව මොනවදෝ කරගෙන .  කාමරේ ඇඳට වෙලා තිලක් එක්ක පාඩම් කර කර හිටපු  පියල් අඩියට දෙකට  පිලිකන්නේ . මොනවද වෙන්න යන්නේ ...... අයියලා දෙන්නා තාත්තව උස්සගෙන පාරට දුවනවා අම්මා ඊට පස්සෙන් දුවනවා .
" අම්මේ ......... මොකෝ මේ "
" තාත්තගේ පපුවේ අමාරුව ආයේ වැඩි උනා මයේ පුතේ .......... කුරුදුවත්තේ වෙද මහත්තයා ගාවට අරං යමු , පුලුවන්නං ..... පරාක්‍රමගේ පාං වෑන් එකට  එන්න කියපං පුතේ ..............

විප්ලව වාදියෙකුගේ ආදරය ‍- තෙවන දිග හැරුම ////
විප්ලවවාදියාගේ රන්තැටිය පිරිවෙනට ආගමනය  සමග  විප්ලවය ඇ‍රඹෙයි

බලාපොරොත්තු වන්න ..........................




Sunday, May 5, 2013

විප්ලව වාදියෙකුගේ ආදරය - ( පලමු දිගහැරුම )



පෙරවදන 

විලක්කුව බ්ලොග් අඩවිය ආරම්භකලේ මගේ ඇත්තම අද්දැකීම් ලියලා තියන්න හිතාගෙන මිසක් නවකථා ලියන්න නෙවෙයි . ඒ නිසා කවුරුත් වැරදි ආකල්පයක් ඇති කරගන්න උවමනා නෑ දිනෙල්කයත් බොරුකථා ලියන්න අරන් කියලා . මොකද මේ ලියන්න යන කථාව මගේ ජීවිතයට හුඟක්ම සමීප ( ඇත්තම කිව්වොත් ඊට වඩා සමීප කෙනෙක් නැතිව ඇති ) කෙනෙක්ගේ ආදර කථාව වෙනුවෙන් . මේ කථාවේ ඇතුලේ දුවන කිසිම චරිතයත් මනඃකල්පිත නෑ (චරිත වලට යොදලා තියෙන නම් විතරක් මනඃකල්පිතයි ) . ඒ විතරක් නෙවෙයි කිසිම සිදුවීමකුත් මනඃකල්පිත නෑ . මේ ලියන කථාව හැමදාම දකින එකම විදිහේ ආදරකථා වලට වඩා වෙනස් විදියේ කථාවක් වේවී කියලා හිතනවා .  එහෙනං ඉතිං පටං ගම්මු නේද !!!!!

විප්ලව වාදියෙකුගේ ආදරය
පලමු දිගහැරුම -01
                                   
         

" කෝ මේ කොල්ලා කොහෙ ගියාද නෑ "
" ඔයට  යන්ට ඇති මයෙ හිතේ , නා කියාගෙන එන්නේ නැතෑ , අදනේ අලුත් ඉස්කෝලෙට යන්නේ "
"ඒකත් එහෙමද ! මං මේ කොල්ලව වත්තට එක්කං යන්න හිටියේ ! බොහොම වල් බිහිවෙලා "
" අද නං මොනවටවත් ලෑස්ති වෙන්ට එපා ඕං .................... ඉගෙන ගන්න දස්සයා , නැත්තං මේ පලාතේ මොන එකාද කියන්ට බලන්ට උසස් පෙල කරන්ට  නාවලපිටියේ අනුරුද්ධ විද්‍යාලෙට තේරුනේ "
" ඒ කියන්නේ දැං , ලං‍ගම සීසොමක් ගන්න සල්ලි දෙන්ට වෙයි නේද ? මාසෙටම රුපියල් 30ක් වත් යයි . මොනවා කරන්ටද මන්දා "
                        ගේ ගාව ඉදන් කෙලින්ම පල්ලම් බැස්සාම කිසිම අමාරුවක් නැතුව ඔය ගාවට යන්න පුලුවන්. අවුරුද්ද පුරාම පිරිලා ඉතිරිලා යන මේ දොල පාර උදේ පාන්දර අමුතුම විදිහේ සුභ ලකුණක් මවලා පෙන්නනවා . උපන් දවසේ ඉදන් හිටයේ මේ ගමේ උනාට පියල්ට කවදාවත් ගමට ඉර පායන දිහා  දිහා බලාගෙන ඉන්න එක ඇති උනේ නෑ.
               නිල් පාට හිස් අහස  රත්තරන් පාටින් පුරවගෙන අතරන් පතර තියෙන සුදු වලාකුලු වල මුදුනට හිතාගන්නවත් බැරිතරමට දිස්නයක් ගෙනත් දෙන ගමන් ඉර පායන දර්ශනේ හරි අපූරුයි .  ඉපදුන දවසේ ඉදන්  ගමෙන් පිට හැදුනේ නැති කෙනෙකුට උනත් අවුරුද්දේ අගෝස්තු මසේදී විතරක් බලන්න ලැබෙන මේ දර්ශනේ කවදාවත් එපා වෙන්නේ නෑ . 
                                           රාස්සකන්දේ වම් බෑවුම පැත්තෙන් උඩට යන්න පටන් ගන්න ඉරේ පලවෙනි රැස් බැල්ම වැටෙන්නේ ගම්පොල කුරුදුවත්තේ ඉදන් ටික දුරක් රට ඇතුලට ගියාම දකින්න හම්බවෙන  නිම්නයක තියෙන අහිංසක මිනිස්සු ඉන්න ගමකට .
                                                    තවත් වෙලාඉන්න ආසා හිතුනත් උසස් පෙලට පන්ති පටන් ගන්න පලවෙනි දවසෙම අළුත් ඉස්කෝලෙට පරක්කු වෙලා යන එක හොඳ නෑ. තවත් එක පාරක් විතරක් රාස්ස කන්ද දිහා බලපු පියල් ඔයේ වතුර දෝතක් බීගෙන ගියේ කලින් දවසේ රෑටත් හරිහමන් දෙයක් නොවැටුන බඩේ හිස් බව නැති වෙන්නත් එක්කයි .
                                                     නාගෙන තෙත සරම පිටින්ම ගෙට ඇතුල් වුනේ තාත්තා වට පිට නැතිබව හොඳටම තහවුරු කරගෙනයි . අම්මා උදේ පාන්දර හදන කිරිබතේ සුවදින් මුලු ගේම පිරිලා . කලින්දා , මයිල හත අටක් ඈතින් තියෙන සමූපෙට කන්ද දිගේ බඩගාන්න ඇත්තේ කිරිබතට කැකුලු සම්බා ගේන්න වෙන්න ඇති . වෙන මොන හාලටත් වඩා කැකුලු හාල් කිරිබතට පියල්ගේ තියෙන නෑ කම අම්මා හොඳටම දන්නවා . 
                                                        දවස් දෙක තුනකට කලින් හෝදලා වේලලා අරන් තිබ්බ සුදු කලිසම දිහා බලාගෙන හිටපු පියල්ට තමන්ගේ ගැනම පුදුමාකාර විදිහේ ආත්මානුකම්පාවක් ඇතිවුනා . ඒ කලිසම මැහුවේ 10  වසරේදීය . දැනට අවුරුදු දෙකක ඉතිහාසයක් තියෙන කලිසමක් ඇඳගෙන අළුත් ඉස්කෝලෙට යන එකම කෙනා තමන් විතරයි කියන සිතුවිල්ලෙන් හිත අහක් කරගන්න  හරි අමාරුයි .
                    විනාඩි දෙකතුනකින් කලිසමත් කමිසයත් ඇඟට දාගත්තු පියල් කුස්සියට ගියේ තමන්ගේ හැඩ දැකලා  වැඩියෙන්ම වැ‍ඩියෙන්ම සන්තෝස වෙන ඇස් දෙකට අලුත් ඉස්කෝලෙ යන පලවෙනි දවසෙත් ඒ සතුට දෙන්න ඕනේ කියන සිතුවිල්ලෙන්මයි .  
පොල් හනස්සක් දෙකට නමලා ලිපට දාන ගමන් අම්මා පියල් දිහා බැලුවේ ඇස් දෙකත් හරි අගේට කරකවලා . 

" කොහොමද අම්මේ , ඇඳුමේ වැරද්දක් නෑ නේද ? "
                                            ටිකක් වෙලා තමන්ගේ පුතාගෙ හැඩ බලාගෙන හිටපු අම්මා පියල්ගේ ලඟට ආවේ  ඇස් දෙකේ කඳුලුත් පුරවගෙන .
" මයේ කොල්ලට වරදින්නේ නෑ ! ඉස්කෝලෙ ඉන්න ලස්සනම කොල්ලා වෙනන ඇති ! " අම්මා කවදාවත් ඉස්කෝලෙ ඇතුලට ඇවිත් තිබුනේ නෑ .
" යද්දි ගොඩක් වෙලා යයි නේද ! හැතැම්ම දහයක් පහලවක් තියෙනවා මගේ හි‍තේ ......... පයින්ද මයේ අම්මා යන්න වෙන්නේ "                                                  තමන්ගේ පුතා ඒ වගේ දෙයක් අහද්දි හීල්ලෙන්නේ නැත්තේ මොන අම්මටද ! 
" හ්ම් !!!!! තාත්තගෙන් අහන්ට පුතා ...... මයේ අතේ නෑ කීයක්වත් "
             මේ උත්තරේ ලැබෙන බව ‍පියල් කලින්ම දැනං හිටියා. කල්පනා කරන ගමන්ම පියල් බැලුවේ ලිපේ තියෙන ගින්දර දිහා , ඒ එලියෙන් අම්මගේ ඇස්වල තියෙන කඳුලු දිලිසෙනවා . අම්මා අඞන්නේ ඇයි කියලා හිතා ගන්න අමාරුවක් නෑ !! . ඇයි දෙයියනේ ඒ ප්‍රශ්නේ අම්මගෙන් ඇහුවේ . 
" මං ගිහිං එන්නං අම්මේ "
" කැකුලු හාලේ කිරිබත් හැදුවා පුතේ , හොඳට උම්බලකඩ දාලා ලුණුමිරිසකුත් ඇති ..... පලවෙනි දවසනේ ....  මොනවා නැති උනත් හිතේ හයිය නැති කරගන්න එපා මගේ රත්තරං . කමුනේද !!! "
" හ්ම් ........... අයියලයි තාත්තයි කෑවද ? " 
" තවම නෑ , කිරිබත ඉඳුල් කලේ නෑ , බුද්ද පූජාවට අයින් කරලා පුතා මුලින්ම කන්න . අපි පස්සේ කන්නං "
                  පලවෙනි කිරිබත් කෑල්ලෙ හිතුවාටත් වඩා රසය . ඔනෙම දුරක් යන්න හයිය අම්මා උදෙන්ම දුන්න කිරිබ‍තෙන් ලැබුනු බව පියල්ගේ හිත ඇතුලටම දැනුනා .
" දැන් යන්නද අම්මේ !!!! " පියල් අම්මගේ කකුල් දෙක අල්ලලා වදින ගමන් ඇහුවා .
" මයේ කොල්ලට තුරුනුවං සරණයි "
                             ‍ පියල්ට තාත්තා මුණ ගැහුනේ  ගෙදරින් එලියට අඩිය තියද්දිමය .
" තාත්තේ !!!!!! මං යන්න කියලා "
" හ්ම් ......... මෙන්න රුපියල් 34ක් තියෙනවා .......හවසට එන ගමන් ගම්පොලට ගිහින් සීසන් එකක් ගන්ට , ඔච්චර දුර පයින් යන්ට පුලුවනෑ , නාවලපිටියට යන්නත් එපායෑ "
 පියල් ඒ සල්ලි අතට ගත්තේ හිතකින් නං නෙවෙයි ........ තාත්තා මේ උදේන්ම කාට හෝ ණය වෙලා තියෙනව කියන එක හොඳටම පැහැදිලී . 
" තාත්තේ !!!!! ............................."
" පලයං පුතා !!!!!! උඹ අහන්න යන දේ දන්නවා , ඒ උනාට ඒවයින් උඹට වැඩක් නෑ , දැන් ඉස්කෝලේ පලයං "
                          පාරට යන්නටනං‍ ගේ ඉස්සරහා ඇති කන්දෙන් එහා පැත්තට යා යුතුමය ...... සැතපුම් දෙකක් විතර තියෙන ඒ දුර පියල් ගියේ කල්පනා ලෝකයක හිරවීගෙනය . 
               පාසල් ගමන අපේ අඩුපාඩු පිරුන ජීවිතේට  බර වී තිබුනේ දැනට අවුරුදු ගානකට කලින් ඉදන්මය. ‍ලොකු අයියා ඉස්කෝලෙ ගමන 8 වසරෙනුත් පොඩි අයියා සාමාන්‍යපෙලෙනුත් ‍අක්කා  ඉස්කෝලෙ පොඩිම පන්තියකිනුත් පාසල් ගමනට සමු දුන්නේ ඒ නිසා විය යුතුය. 
.තමාද කලයුත්තේ ඒ මඟ යාම මිස පවුලට බරක් නොවීමය , ඒත්  ඉස්කෝලෙට තිත තියන එක කථා කරන හැම වෙලාවකම ලැබෙන්නේ බැනුම් විතරක් වීමත් හිසරදයකි.
                                     පියල් මහ පාරට අඩිය තියද්දී මුලින්ම දැක්කේ ඈතින් පෙනෙන සමනල කන්ද. සමණල කන්ද කොහෙමත් පින් පාටයි . කෙලින්ම පිරමීඩේ වගේ තියෙන නිසා කදු පන්ති අතරින් උනත් ලේසියෙන් අදුරගන්න පුලුවන් . පා‍රේ ඉදන් බැලුවාම මේ පාන්දර වෙලාවේ සමනල කන්ද පේන්නේ එහෙමත් දවසක විතරයි . නැත්තං   මීදුම් පටලෙට වැහිලානේ තියෙන්නේ . 
" ගමන සුභයි " සමනල කන්ද දැකපු ගමන් පියල්ට හිතුනා .
                                   නාවලපිටියට යන්නට බස්එකේ පැයක් විතර තෙරපෙන්න  ඔනේ .........
නාවල පිටිය අනුරුද්ධ විද්‍යාලය කියන්නේ  පලාතේ තියෙන ලොකුම ඉස්කෝල වලින් එකක් ( අද වෙද්දි නං ඒක ජාතික පාසලක් ) . පියල්ගේ ගමේ කොල්ලෙක් ඒ ඉස්කෝලෙට යනවා කියලා හිතන එකත් හරි වෙනස් දෙයක්.
 මොනවා උනත් අළුත් ඉස්කෝලේ  හිතපු තරං නරක තැනක් උනේ නෑ  . විශ්වවිද්‍යාල වලින් නවක වදය කියන එක එලියට ලීක් වෙලා තිබුනත් තවම ඒ  රස්නේ අනුරුද්දෙට වැදිලා තිබුනේ නැති නිසා පලවෙනි දවස හිතපු තරං අමාරු උනේ නෑ . කලින් ගියපු උඩහේන්තැන්න සේනාධිකාරී මධ්‍යමහා විද්‍යාලය මිශ්‍ර පාසලක් නිසා  අලුත් ඉස්කෝලේ ගෑනු ළමයින්වත් අමුත්තක් උනේ නෑ . කෙල්ලෝ දෙතුන්‍ දෙනෙකුකෙම බැල්ම අමුතු විදිහට වැටුනත් . කිසිම කෙල්ලෙක් පියල්ගේ හිත හොලවන්න තරං වෙනස් විදිහේ අය උනේ නෑ . 
" මචං පියල් .......... , උඹ දැන් ගෙදරද යන්නේ " පලවෙනි දවසෙම යාළුවෝ .
" නෑ බං ........ ගම්පොල ඩිපෝවට යන්න ඔනේ !සීසන් එකක් ගන්න "

" එහෙමද ............ මං මේ හැ‍දුවේ , අද පන්තියේ සේරම උන් අපේ ගෙදර එනවා. උඹත් එනව නං එල කියන්නයි හැදුවේ ......... දැන් අවුලක් නෑ ඉතිං හෙට දිහාට වරෙන් .... අර තියෙන තේ වත්තේ මැනේජර් තමයි අපේ තාත්තා . හෙට දිහාට යමං බංගලාව පැත්තේ ගිහින් එමු "

" එහෙනං හෙට ........... හරිනේ " පියල් ඇහුවේ ඇතට වෙන්න පේන කළු ගල් වලින් හදපු  එංගලන්තේ පෙනුම තියෙන අළුත්යාලුවා , තිලක්ලගේ බංගලාව දිහා බලාගෙනයි . 
                                             කරට අත දාගෙන තමන් හපපු රොටියේ අනිත් කොන කන්න ගත්තු තිලක් කියන්නේ තමන්ගේ සමාජ මට්ටමට වඩා හුඟාක් ඉහලින් ඉන්න ඒත් ඒ මට්ටමේ හුඟක් උන් ගාව නැති නිහතමානී කම තියෙන කොල්ලෙක් බව පියල්ට තේ‍රුනේ , තේ වත්තේ කථාව ඇහුවාමයි .
                    පියල් ගම්පොල ඩිපෝවට එනකොට වෙලාව හවස 4 විතර වෙලා තියෙන්න ඇති .
 " මොනවද පුතා වෙන්න ඔනේ ? "
                                              වෙන තැන්වල දකින්න නැති විදිහේ කාරුණික නිළධාරියෙක් ‍වුන ඩිපෝ කලමනාකාර තුමා පියල්ගෙන් ඇහුවේ බොහෝම ලෙංගතු විදිහටයි . 
                                     කරගන්න ආපු වැඩේ  බොහොම ඉකමනට ඉවරකරගත්තු පියල් ආපහු හොල්ට් එකට ගියේ ඊලඟට තියෙන පලවෙනි බස් එකේම ගෙදර යන්න හිතාගෙනයි .
" අඩෝව් ........... උඹ තාම ගම්පොලද බං " සුපුරුදු කටඩක් ඇහෙද්දි පියල් හිටියේ බස් එකට නගින්න ඔන්න මෙන්න තියලා .
" තිලක් !!!!! " 
" ‍ගෙට්ටුගෙදර් එක කැන්සල් උනා බං ........ අර මොකද්දෝ සංවිදානෙක රැස්වීමකට කොල්ලෝ සේරම ගිහින් .  මං තාත්තත් එක්ක ගම්පොල ආවා බඩු වගයක් ගන්න , උඹ තාම මොනව කරනවද ? කෙල්ලෙක් වත් ..............." 
" පිස්සුද බං ......... මං මේ දැන් ටිකකට කලින් තමයි බස් සීසන් එක හදා ගත්තේ "
" රාජ්‍ය සේවයනේ නේද , වරෙන් බස්වල තෙරපෙන්න ඔනෙ නෑ ...... වාහනේ යමු තාත්ත දැන් එයි එතකං හෝල්ට් එකේ කයියක් දාගෙන ඉමු "
ගම්පොල බස් නැවතුම පරන එකකි . සුද්දා හැදුවාට පස්සේ අලුත් වැඩියාවක් කියලා එකක් නං වෙලාම තිබුනේ නෑ වෙන්න ඇති . යාළුවො දෙන්න ගිහින් බංකුවක් උඩ ඉද ගත්තේ තිලක්ගේ තාත්තා එනකං කල්මරන්න සිගරට් දෙකකුත් අරගෙනයි .
                                          හෝල්ට් එකට ඉස්සරහා ස්ටේශන් එක ගාව කඩේ හරියෙන් හරි අපූරුවට ‍නැලවෙන සුදු ගව්ම් ටිකකට යලුවො දෙන්නගෙ ඇස්ගියෙ නොදැනීමයි .
" ගම්පොල ඉස්කෝලෙකට බං එන්න තිබුනේ ........ බලහංකෝ හැඩ "
" ඇයි අනුරුද්ධේ කෙල්ලෝ කැතද .........." ඒ පියල් 
 " ‍ජෝසප් එකේ කෙල්ලො ටිකක් නේද ? මැද ඉන්න සුදු එවුන් දෙන්න හෙන ලස්සනයි පියල් "
                                               උපාසක චරිතෙ රඟපෑවත් පියල් බලන් හිටියෙත් ඒ කෙල්ලො දෙන්නා දිහාම තමයි .........දෙන්නම ලස්සන උනත් මැද්දේ ඉන්න උස  ගෑනු ලමයගෙ ලස්සන කැපිලා පෙනුනා . ඒ වගේ කෙල්ලෙක් මීට කලින් කවදාවත් පියල් දැකලා තිබුනේ නෑ . ..... කරල් දෙකට ගොතපු කොණ්ඩෙ උරහිසෙන් එකම පැත්තට දාගෙන හරි ලස්සනට දෙපැත්තට පැද්දි පැද්ද එන ලස්සන දවස් දෙක තුනක් බලාගෙන හිටියත් ඇති වෙන්නේ නෑ .


විප්ලව වාදියෙකුගේ ආදරය - ( දෙවන දිගහැරුම ) බලාපොරොත්තුවන්න



Friday, May 3, 2013

රාවනා සොයුරෝ කෝ !!!!!!!!!!!!!!!!!!


                             

                                               මේ වෙන කවරදාටත් වඩා අපිට උඹලව ඕනේ වෙන කාළේ බං . අවුරුදු කීපයකට කලිං ඇඟ  ඇතුලේ තියෙන නහරයක් නහරයක් ගානේ දුවන්නේ පිරිසිදු  සිංහල ලේ කියන එක උඹලා  අපිට මතක් කරලා දුන්නා . උඹලගේ හැම නිර්මානෙකින්ම අපි අපේ කම කියන එක දැක්කා . අපේ දේවල් ඇහෙද්දි හිතට දැනෙන හැඟීම උඹලා අපිට ආයෙමත් කියලා දුන්නා . 
            ඩීජේ සංගීතයට රෝල කැරකෙන රැප් , හිපොප් වගේ නෙවෙයි ..... ලේ ඇතුලටම කාවැදිලා නැටවෙන මට්ටමට අපේ බෙර සද්දේ ප්‍රභලයි කියලා උඹලා අපිට කියලා දුන්නා . ඇහෙන ඇහෙන හැම වෙලේම දැනෙන නිර්මාන බිහිකලා . ඒත් එක පාරටම උඹලට මොකද උනේ බං ........
දැං කෝ උඹලා ටික , අපේ රටට ජාතියට ආගමට කැපවෙන මිනිස්සු එකතු වෙන්න ඔනේ කාලයක් මේක. අපේ උන්ට දැනෙන විදිහට ඒ වැඩේ කරන්න පුලුවන් උඹලා වගේ උන්ට . ඒ නිසා ඉන්නව නං ඉන්න තැනකින් එලියට බහින්න දැං කාලේ හරි මචංලා .




රාවනා සහෝදරයන්ගේ නිර්මාණ කිපයක් බලලම යමුනේ,


                                                                                                                
දන්ඩණාථ වර 





රාවනා ගීතය 









සතන් සෙත්බිම




තවත් එකක් 




ඉතිහාසයේ දැවන්තම බ්ලොග් තරඟාවලිය විලක්කුවෙන් ............. ලඟදීම .
කෝකටත් කියලා ...... පෙර සූදානම තර‍ඟෙට ඉදිරිපත් වෙන්න හිතාගෙන ඉන්න හැමොටම හොදයි. ඉතිං ලෑස්ති වෙලා හිටපල්ලා 


 

Sample text

Sample Text

Sample Text