Social Icons

හොයමු බලමු

Tuesday, January 15, 2013

පාසල ගිණි තැබීම ( ඉස්කෝලේ කට් කරන්න නියම ප්ලෑන )



                    කොහේදෝ දුරක ඉදන් හඬලන කුකුලෙකුගේ සද්දෙ මොන තරං හයියෙන් ඇහුනත් , උදේ පාන්දර ආච්චි අම්මා හදන එල කිරි වීදුවේ සුවද නහය ගාවටම එනකන් ඇ‍‍ඳෙන් නැඟිටින්නේ කොහොමද ........

" මගෙ චූටි මැණික තාම දොයිද ........ නැගිටින් මයේ අම්මා ... ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා නේ ...... මෙන්න මං මාරි බිස්කට් පැකට් එකකුත් ගෙනාවා .... එන්නකෝ තේ පොඟවලා සීනී ගාලා කවලා යන්ට ලෑස්ති කරන්න " 
                         උදේ පාන්දර නැගිටගෙන , පට්ට හීතලේ ගැහි ගැහි මීදුම අස්සෙන් , ඇලවේල්ල දිගේ සීරුවට ගිහින් නෝනා ආච්චිගේ කඩෙන් නේද දෙයියනේ මේ බිස්කට් ගේන්නේ කියලා හිතට එනකොට  මාසයක් නිදිමරලා හිටියත් නැඟිටින් හිතෙනවා .
                                             තාම අවුරුදු පහේ පොඩි කොල්ලා උනාට එහෙම දෙයක් තේරුං ගන්න බැරි තරං බින්දුවේ මානසික මට්ටමක් මට තිබුනේ නෑ ...... ඔව්, ඒ මම තමයි, මීට අවුරුදු 15කට කලින් මගේ ගමේ ඉද්දි ආච්චි අම්මා මාව ඉස්කෝලෙ යන්න නැගිට්ටවෙව්වේ ඔන්න ඔහොමයි .
නාවලපිටියට බොහෝම ලඟින් තිබුන , වචනෙන් විස්තර කරන් බැරි තරමට ලස්සන ගමකලු මේ කළු කොල්ලා හිටියේ . මොණර කොල සිය ගනන් වියදන් කරගෙන , සීතලේ සැප ගන්න එන මහත්තුරුන්ට ඉරිසියාවේ පැලෙන්න හිතෙන තරමට ගමේ ගෙවුන මගේ ජීවිතේ ලස්සන වුනා.
                                    ඇස්දෙකත් බාගෙට පියාගෙන නින්දෙන්ම වගේ බිස්කට් පැකට් එකම කන්නේ, ආච්චි අම්මගේ ඇඟිල්ලකුත් දෙතුන් පාරක්ම හපන්න අමතක කරන්නේ නැතුවයි.  බොන ලිඳ ගාවට ගිහින්  තියෙන සීතල නිසාම හොරාට මූන කට හෝදන් හදන මාව අල්ලගෙන බලෙන්ම වගේ හොඳට සබන් ගාලා මුලු ඇඟම හෝදලා ලිප ගාවට එක්ක ගිහින් , ආච්චි අම්මාගේ අත්දෙක ලිපේ ගිනි රස්නෙන් රත් කරලා මගේ මූනේ තියන්නේ  හීතල අඩු කරන් හිතාගෙන. 
කරන්ට් එක තිබුනේ නැත්තං පොල්කටු අඟුරු ස්ත්‍රීක්කෙන් හරි කිසිම රැල්ලක් හිටින්නේ නැතිවෙන්න ඇඳුම මැදලා දෙනවා .
                                                        නිල්පාට කොට කලිසමයි ,සුදු පා‍ට අත්කොට කමිසෙයි, කලු සපත්තු දෙකට සුදු මේස් කෙකුත් දාගෙන බොකුටු කොන්ඩෙත් පිරගෙන බෑග් කට්ටයි  එල්ලගෙන, සීයා පප්පිගේ බයික් එකට නගින්නේ බොහෝම සීරුවට .ඒ වෙන මොනවත් නිසා නෙවෙයි , බයික් එකේ යකඩ කෑල්ලක් ඇගේ ගෑවුනොත් මහ හයියෙන්  කෑගැස්සෙන තරමට සීතල නිසයි..... 
එක කික් එකෙන් ස්ටාට් වෙන හොන්ඩා බයික් එකේ තෙල් ටැංකියට උඩින් තියපු කොට්ටේ උඩට වෙලා බෑග් එකත් තුරුල් කරන්  පප්පිගේ  බඩට මගේ පිට තියාගෙන තවත් තුරුල් වෙන්නේ ඇයි කියලා කියන්න ඔනේ නෑනේ . 
එතන ඉදන් පටන් ගන්න  ගමන , මීදුම පිරිලා ගියපු  කඳු මිටියාවත් තේවතු මැදින් ගිහින් සීතල අමතක වෙලා යන තරං ලස්සනට ඉර ‍එලිය /ගස් අතරින් ‍‍බේරිලා එනවිදිහත් දැක්කට පස්සේ තමයි ....... උඩහේන්තැන්න මද්‍යමහා විද්‍යාලයට එන්නේ ............
" මං යනවා පප්පී " 
" හ්ම් ........ අද දවල්ට එන්නේ මං " 
                                               පප්පි කොහොමත් වැඩි ‍කථා බහ නෑ .... ඒ උනාට මහාමෙරක් වගේ ආදරක් මගේ ගැන ඒ හිතේ තියෙනවා කියලා මං දන්නවා . ආච්චි අම්මට මොනතරං ආදරේ උනත් මං නිදාගත්තේ පප්පි ගාව , එයාටත් මං නැතුව නින්ද යන්නේ නෑ කියලා ආච්චි අම්මා අනන්තවත් , අනිත් ගමේ ගෑනු උන්දලා ගෙදරට ආවාම කියනවා මං අහගෙන.
            සම්පූරණ කන්දක් පුරාවටම ඉස්කෝලේ පැතිරිලා තියෙනවා .... කන්ද මුදුනටම වෙන්න කපපු ලස්සන තණකොල පිට්ටනියක් මැද්දට වෙන්න පිහිටලා තියෙන අපේ ඉස්කෝලේ ප්‍රාථමික අංශය තරං ලස්සන ප්‍රාථමිකයක් මේවෙනකන් මගේ ඇස් දෙකට අහුවෙලා නෑ ....... පිට්ටනියේ එක පැත්තකට වෙන්න මානා පදුරු  වලින් වැහිලා ගියපු  ෆයිනස් කැලයක් ..... බොහෝම සරුවට හැදුන මානා පදුරු ඉස්කෝලේ ප්‍රාථමියේ තිබුන එකම බිල්ඩිම එක පැත්තකින් වහගෙන තිබුනේ සුරංගනා කථාවල තියෙන විදිහේ ගෙයක් ඇස් ඉස්සරහාම බොහෝම අපුරුවට මවන ගමන්.
ෆයින් කැලේ මායිමට වෙන්න තිබුනේ දකින හැම වෙලාවකම  පරණ බලකොටුවක් මතක් කරන  ගරා වැඩිච්ච ගොඩනැගිල්ලක් .... කබොක් ගල් වලින් හදලා සමර ගාලා කාලයක් බොහෝම අපූරුවට තියෙන්න ඇති කියලා හිතන්න පුලුවන් ගොඩනැගිල්ලේ වහලේ  වගේම සමහර  බිත්තිත්  ගැලවිලා ගිහින් .
                         ගොඩනැගිල්ලත් එක්කම නියර දෙකේ පුරන් කුඹුරකුත්  ඒ මැද්දෙන් උදේ ඉර එලියට දිලිසි දිලිසී ගලාගෙන යන ගැඹුක් නැති දියපාරකුත් අපේ ඉස්කෝලේ එලිය වැඩි කලා .  
                               හැමදාමත් වගේ එදත් මං ඉස්කෝලේට ගියපු ගමන් දුවගෙන ගියේ ඔන්න ඔය කියන වතුර පාර ළඟට වෙලා රාස්ස කන්දට උඩින් ඉරපායන ලස්සන බලන්න මං එනකන් බලාගෙන ඉන්න තිසුරිව හොයාගෙන . අපි දෙන්න අතරේ තිබුනේ පුදුමාකාර බැදීමක් , එහෙම එකක් ඇතිවුනේ කොහොමද කියලා මං අදටත් දන්නේ නෑ . .......                     
                             හැමදාම  මං එන කං දිය පාර ගාව තිබුන ගල්පොත්ත උඩට වෙලා හිනා කට නැති උනහම මං දවස ගෙව්වේ නිකන් මැරිච්ච එකෙක් ගානට. 
                                       වෙනදා වගේම හිනා වෙච්ච කෙලි පැටික්කිව බලන්න හිතාගෙන ගල්පොත්ත උඩට දුවපු මට එදා දකින්න ලැබුනේ  මුලු ලෝකෙම කඩාගෙන වැටුනා කියලා හිතෙන තරමේ දෙයක් ....... සුදු ගවුම ඇදගෙන සුදු සපත්තු දෙකට සුදු මේස් දාගෙන කොණ්ඩේ කරල් දෙකට ගොතලා රතුපාට පීත්ත පටි දෙකකින බැදගෙන  ගල උඩට වෙලා අඩ අඩ හිටපු කෙලි පැටික්කියක් .
" ඇයි ........... ? ??? අනේ ඇයි අඬන්නේ කියන්නකෝ " මං හෙමීට හෙමීට ලඟට ගිහින් ඇහුවා .
" අර මානා පඳුර ........ ඊහීහීහීහීහීහී.......... "
" ඉතින් ? "
" ඒකෙ හිටපු මොකෙක්ද එකෙක් මගේ අත කෑවා ......මේ බලන්ටකෝ "  වෙරලු ගෙඩියක් වගෙ ඉදිමිච්ච තැනක් පෙන්න පෙන්න කෙල්ල අඩනවා.මටත් ඇ‍ඬෙන්න ගත්තා.
" යමුකෝ ගිහින් ටීචර්ට පෙන්නමු ........... " 
                             අත්වලින් අල්ලගෙන ටීචර් හොයන්න දෙන්නත් එක්ක දිව්වේ දෙන්නම අඬන ගමන්. අපේ ෆෙන්ඩ් ශිප් එක ගැන දන්න නිසාම ටීචරුත් මොනවත් කියන්න නැතුව හිනා වේගෙනම මොන මොනවද ජාතියක් අර ඉදිමිලා තිබුන අතේ ගෑවා .  
කෙල්ලගේ වේදනාව අඩු වුනාට මගේ වේදනාව අඩු වුනේ නෑ ....... මට දැන් මානා පඳුරු ටිකත් එක්ක මාර තරහයි .කොහොම හරි මේ ටික ඉවරයක් කරන්න ඔනේ!!
                                 ගෙදර ගියපු මං අනිත්දවසේ ‍ඉස්කෝලෙට ආවේ ආච්චි අම්මාගේ ලිප ගාව තිබුන පොල් ලෙලි දෙක තුනකට ලාම්පුතෙල් පොඟවගෙන බෑග් එකේ හොරෙන් ඔබාගෙනයි ........ගිනි පෙට්ටියෙන් ගිනි කූරු ගහන්න නොතේරෙන නිසා පප්පිගේ ලයිටරෙත් උස්සන්න අමතක කලේ නෑ.
වෙනදා ගල්වල ගාවට දුවන මං එදා පොල්ලෙලි මල්ලත් උස්සගෙන දිව්වේ ෆයිනස් කැලෑව කෙලවරට . එතනින් තමයි මානා කැලේ පටන් ඇරන් තිබුනේ ...... ආය කවදාවත් කාටවත් කරදර කරන්න බැරි වෙන්න කිලයා හිතාගෙන පොල්ලෙලිවලට ගිනි තියපු මං ඒ ටික මානා කැලේට විසිකලා .......
ආච්චි අම්මගේ ලිප වගේ සීරුවට ඇවිලිලා ඉවරවෙලි කියලා හිතපු මගේ අනුමානේ වැරදුනේ මටත් වඩා උස ගිනි දලු මවාගෙන මාන පිච්චෙන්න ගත්තහමයි........
පොඩ්ඩක් නෙවෙයි ‍හුඟක් බයවුනා ....... ගින්න පැතිරිලා යන්නේ ඉස්කෝලෝ ගොඩනැගිල්ල දිහාටයි ......
කෑගහගෙන පන්තියට ගියපු මං ,
" ටීචර් ......... අන්න කවුදෝ මානා කැලේට ගිනිතියලා ......" කියල  අඩන්න ගත්තා .මං එන්නේ නෑ කියලා හිතලා තනියෙන් ඉර පායනව බලපු  තිසුරි මානා කැලේ ගින්න නිසා එන්න බැරිව දිය පාර ගාව තනිවෙලා ....... 
පන්තියේ වහ‍ලෙත් ටිකක් විතර පිච්චෙනකන්ම ගින්න නිවන්න බැරි උනා .......අන්තිමට ඉස්කෝලේ ලොකු අයියලා අක්කලා එකතු වුනේ නැත්තං  ප්‍රාථමිකේ ආයෙත් මුල ඉදලා හදන්න වෙනවා . ගිනි තියපු එකා හොයන්නයි ආයෙ වහලෙ හදන්නයි අපිට දවස් 3ක් නිවාඩු දුන්නා ...... 
කවුරු නොදැන හිටියත් කැලේට ගිනි තිබ්බේ මං කියලා ටීචර්ට තේරුන නිසා වෙන්න ඇති ඉස්කෝලේ පටන් ගත්තදවසේ මගේ ගාවට ඇවිත් , 

" දැන් ඉතින් ඒ පඳුරු වලට  තිසුරිට මොනවත් කරන්න බෑ නේද ! " කියලා ඇහු‍වේ


එක වසරේ ගෙවපු ඒ සුන්දර ජීවිතයට වගේම ගමේ ජීවිතයටත් ආයුබෝවන් කියලා දෙකවසරට මං අම්මලා තාත්තලා එක්ක කොළඔ ඉස්කෝලෙට ගියාලු



 විශේෂ - මේ කොටස ලියන්නේ තිසුරි කියන අන්වර්ථ නාමයේන් මං හදුන්වපු ඒ ආදරනීය කෙල්ලට.................      අපි දෙන්නත් එක්ක අවුරුද්දක් පුරාවට ගතකරපු ඒ ලස්සන කාලේ එකම එක දවසක්වත් මේ අවුරුදු 15 ක කාලෙයක් වෙලත් මට කවදාවත් අමතක නෑ.............. ඔයාටත් එහෙම්ම වෙන්න ඇති , තාමත් ඉන්නේ මං එදා දැන අඳුරගත්තු කෙල්ල නං ඔයාට අමතක නෑ කියලා මං දන්නවා . කවද හරි දවසක මේ බ්ලොග් පෝස්ට් එක කියවන්න ලැබුනොත් අමතක  කරන්නේ නැතිව ඔයාගේ හරි නමින් කොමෙන්ට් එකක් දාන්න , තව එකපාරක් ඔය මූණ බලාගන්න ආසයි වගේ ....


ප.ලි - ඉස්කෝලෙට වැරදීමකින් හරි ගිනි තියපු කොල්ලෙක් ඩෝ.......... චාටර් නේ !!

Saturday, January 12, 2013

බඳුලු දුම්රියේ ..... පට්ටි පොල හටන ( විලක්කුව ලියන එකාට ජාන ලැබුන හැටි )






                                        නානු-ඔය ස්ටේශන් ‍එකේ ‍හයිකරලා තිබුන හෝරා යන්තරේ වෙලාව 5.30 උනා විතරයි . කොහොමත් කලියෙන් අඳුර වැටෙන කඳුකරේට එදා ටිකක් වැඩිපුර අඳුර වැටිලා තිබුනේ , නත්තල් සීතල් එක්ක , කොහේදෝ ඉඳලා පා වෙලා ඇවිත් තිබුනු වැහි වලාකුලක් නානු-ඔය නගරෙට උඩින් නැංගුරම් දාලා තිබුන නිසා වෙන්න ඇති .
                                              ලාවට ගලාගෙන එන අඩ අදුරත් එක්ක ස්ටේශන් එකේ ඉදන් , ඇඟ හිරිවැටිලා යන තරම් වෙච්ච සීතල, සිගරට් දුමෙන් පන්නලා දාන ගමන්  නයිට් මේල් එක එනකන් බලාගෙන හිටපු දෙන්නෙක් බොහෝම බර කථාවක .
                               ස්ටේශන් එක වටේට  හැම තැනම කරග්ගහන අයාලේ යන බල්ලොන්ට සයනයිට් උලකින් අනින කොල්ලා තාමත් වැඩ . සයනයිට් එන්නත කාගෙන කෑගහගෙන ගියපු බැල්ලක් ස්ටේශන් එකට එහායින් තියෙන ලන්දේ දිරලා යමින් තිබුන කෝච්චි පෙට්ටියක් අස්සේ  හිටපු තමන්ගේ පැටවුන්ට කිරි දෙන්න පටන් ගත්තා . තවත් විනාඩි ගානක් ඇතුලත තමන්ගේ අම්මා මැරෙන බවට හාංකවිසියක්වත් දන්නේ නැති පැටව් පස්දෙනෙක් පොරකාගෙන ඇවිත් තන පුඩුවට කට ති‍යාගෙන කිරි බීගෙන බීගෙන යන්න ගත්ත . ඒ පැටවුන්ට ලැබෙන අවසන් කිරි වේල නේද මේ.ස්ටේශන් එකේ හිටපු දෙන්නටම පුදුම තරං දුකක් ඇති උනා ..... 

" මොනව කරන්නද මහත්තයා ..... එකිට පැටව් ඉන්න බව දන්නව නම් මං අත ඇරලා දානවා .... ශික් මේක මහ පවුකාර රස්සාවක් "
                               
                                 එහෙම කියාගෙනම එන්නත් කාරයා අර දෙන්නා ඉස්සරහින් පාරට බැස්සේ පැය ගානක් තිස්සේ තේ උගුරක් ලැබුනේ  නැති උගුර කට පිනවන්න හිතාගෙනයි .
කඳු ගානක් නැගගෙන හති දාගෙන ආපු කෝච්චිය නානු ඔයට එනකොට වෙලාව හවස 6 ට විතර තියෙන්න ඇති . 
 නානු ඔය ස්ටේශන් එකෙන් කෝච්චියට නැග්ගේ මෙච්චර වෙලා සිගරට් දුමෙන් වැහිලා හිටපු කොල්ලෝ දෙන්නා විතරයි.  මනුස්ස පුලුටක් ගැන සළකුනක්වත් නැති වෙන තරමට ස්ටේශන් එක පාළුවට යවමින් කෝච්චිය යන්න පටන් ගත්තා ........ ඈතින් පේන කඳු අස්සෙන් හොරන් හොරෙන් එබිකම් කරන ඉර දිහා බලාගෙන , තමන්ගෙම මනෝ ලෝකේ හිටපු දෙන්නාගෙ දැහුන බිඳුනේ ටිකට් පරීක්ශක තුමාගේ කට හඩත් එක්කයි . 

" ටිකට් ගන්න මහත්තයා .... "
දෙන්ගෙන් එක්කෙනෙක් ඔළුව උස්සලා බැලුවා ....
" දෙයියනේ ........ මේ අපේ සි‍රිමෙවන් මහත්තයානේ ..... මොන ටිකට්ද.. බොහොම සන්තෝසයි සර් දකින් හම්බවෙච්ච එක "
" ආහ් .......... අද නයිට් ශිෆ්ට් එක ලෙස්ටර්ද !! හොඳයි හොඳයි ..... ලෙස්ටර් ... මේ ඉන්නේ මගේ මල්ලි .... අහවල් රස්සාව තමයි කරන්නේ" 
" මෙච්චර කල් අහලා තිබුනට දැක්කේ අදනේ ........... දෙන්නත් එක්ක ‍ගම්පොලින් බැහැලා යන්නෙ පරිස්සමෙන් ... දන්නවනේ මේ කාලෙ හැටි ....  හමුදාවෙ උන්ට රෑ පානේ පාරේ යන උන්ව පේන්න බෑ .... ටයර් ගොඩකින් තමයි ඉවර වෙන්නේ .... පේනවනේ කෝච්චියත් , බලු බල්ලෙක් නෑ , මුලු කෝච්චියේම විසි පහක් ඇති වැඩිම උනොත් "
      කිසිම කථාවක් ‍නොකරපු අයියා මලෝ දෙන්නා හිනා උනා විතරයි .
" මං එහෙනං යන්නං මහත්තයෝ ........... "
" හොඳයි ලෙස්ටර් "
අයෙත් පාරක් අයියා මලෝ දෙන්නා කෝච්චි පෙට්ටියේ තනි උනා .

" ස්ටේශන් මාස්ටර් වෙන එකත් එක විදිහකට බැලුවාම හෙන ලාබ වැඩක් නේද අයියේ ...... කෝච්චියෙ නිකන් යන්න පුලුවන්නේ "
" ඒ වගේම වගකීමක් .......... "
" ඇත්ත "
" අපේ රටට අද මෙහෙම වෙලා තියෙන්නෙ අපේ මිනිස්සු වරප්‍රසාද බුක්ති විඳලා යුතුකම් අමතක කරන නිසයි. අපේ සහෝදරවරු සටන් කරන්නෙත් ඒ වෙනුවෙන් කියලා මල්ලි දන්නවනේ "
" හ්ම් ......  ඒ උනාට අපිට මේක දිනන්න බැරිවෙයි "
" කමක් නෑ ...... අපිට පුලුවන් වෙයි අමකන වෙ‍න්නේ නැති සලකුනක් තියන්න .... සමහරුන්ට ඒක කළු පැල්ලමක් විදිහට පෙනෙයි , ඒත් ඇත්ත වැටහෙන රට ගැන හිතන උනුත් ඉදීනේ "
                       දෙන්නගේ කථාව බොහෝම බරට නැගලා යනවා. කෑලිකැපෙන අන්දකාරය අස්සෙන් බොහෝම අමාරුවෙන් වගේ , පින්නට ලිස්සන රේල් පීලි , සිල්පර කොටන්උඩින් කෝච්චිය පට්ටිපොලට එනකොට වෙලාව 8 විතර වෙලා ඇති . 
                        මෙච්චර‍ වෙලා කෝච්චිය ඇතුලේ තිබුන නිහඩ බව නැති උනා ........ කොහෙන්දෝ කඩාගෙන පාත්වෙච්ච කොල්ලෝ කාණ්ඩයක් හතරගාතෙන් ගොඩ උනේ අයියා මලෝ දෙන්නා හිටපු පෙට්ටියටයි ....
       
" අප්පට සිරි මුං හොඳටම බීලා නේද "
" නොදකින් විතරක් ......... බිව්වට කමක් නෑ ගෙදර යන්න පුලුවන් තරමට බොන්න දැනගන්න ඔනේ ."
                   බේබදු කාණ්ඩේ දැන් පෙට්ටිය ඇතුලෙ හෙන පෙරලියක් කරනවා ...... එකෙක් මුල්ලකට වෙලා හෙනම ආතල් එකේ කබා දානවා , දෙතුන් දෙනෙක් මහා හයියෙන් කුණු හරප සින්දු කියනවා ..... අනිත් උන් තැන් තැන් වල ඉදන් ආන්ඩුවට බනිනවා .
                                   සැරටම ගේම නැගලා යන අල්ල පනල්ලේ තමයි ඒ කෝච්චි පෙට්ටියටම ටිකක් විතර ඇහැට කණට පේන ලමිස්සියෝ දෙන්නෙකුත් ගොඩ උනේ . 
කොල්ලොන්ගේ ආතල් එක සම්පුරණයෙන්ම වෙනස් උනා..... දැන් කට්ටි කථා වෙන්නේ කෙල්ලො දෙන්නා ගැන.
" මචං අපි මේක හෙන රොමැන්ට්ක පොට් එකක් කරන්න ඔනේ ‍ "
" කොහොමද !!! "
" ගිනි ගොඩක් ගහමුද "  කොහෙදෝ හිටපු එකෙක්ගේ අදහසක් ආවා .
" අන්න වැඩේ  ..... ඉඳහංකෝ මං සීට් එකක් ගලවලා ගන්නම් .ආණ්‍ඩුවෙන් ආයෙත් හයි කරයිනේ බං  " ඌ සීට් එක ගලවන්නයි ට්‍රයි එක .
" බල්බ් එක තිබ්බහම කරදරයි බං ..... අපි මේක අඳුරු කරන්න ඔනේ " තව එකෙක් බල්බ් එක ගලවන්න ට්‍රයි . 
                   මේ අස්සේ කෙල්ලෝ දෙන්නා බයවෙලා නහුතෙට උන්ට වෙන පෙට්ටියකට නන්නත් නෑ , අරුන්ටික පෙට්ටියේ දොරවල්‍ දෙකටම මුර දාලා .  අයි‍ය මලෝ දෙන්න පාඩුවේ හිටියට ආයෙ නං බෑ වගේ ...... වැඩියෙන්ම මල පැනලා හිටියේ මල්ලිට. 
" අයියෙ ........... ගහමුද ? "
" ටිකක් බලමුකෝ " 
ටික දුරක් ගියත් මුංගේ වැඩ වල වෙනසක් නෑ ... එක කෙල්ලෙක් අඩනවත් එක්ක. 
" අයියට බැරිනං ඉදගෙන ඉන්නඑකයි ඇත්තේ "
                                    එහෙම කියාගෙන නැගිටපු කොල්ලා තමන්ගෙ ළඟම හිටපු එකාව ඇදලා ඇරන් අතමිට මොලවලා නහට මැද්දටම  ඇදලා ඇරියා . මල්ලි ගේමක ඉද්දි අහක බලන අයියාකෙනෙක් පොල් පිත්තකින් කපා ගන්න බැරියැ ... එහෙම හිතපු අයියත් නැගිට්ටා .... කොල්ලෝ දෙන්නම පොඩිකාලේ ඉදන් ඉගන ගත්තු මාශල් ආට් එලියට එන්න  වැඩි වෙලා ගියේ නෑ ..... 
                                    අනිත් උන්ගේ සේනාව වැඩි උනාට වැඩක් නෑ . උන් සේරම බීලා .... එක පාරෙන්ම බිම ...... කොල්ලෝ දෙන්නාගේ පා පරහවල් දරා ගන්න බැරිවුන ‍කා‍ඩ් බෝඩ් විරයෝ ටික වැටුන වැටුන තැන්වල නිදි ......... 
                       වලිය යනවෙලාවේ  කෙල්ලෝ දෙන්නත් මේ දෙන්නට  චියර් එකෙන්  හෙන සප් එකක් දුන්නා .
                                  කෝච්චියේ හිටපු ගාඩ්ලා ටික මොකක්ද කලබලේ කියලා බලන්න එනකොට සේරම ඉවරයි ..... වැරදි කාරයෝ දෝයි ..                          

                              නාවලපිටියට කෝච්චිය එ‍නකොට වැරදි කාරයෝ භාර දෙන්න පොලිසියෙන් හොයන්න යන්න ගියත් මල්ලිගේ ඉල්ලීම මත ඒ වැඩේ වැලකුනා........
                                         බදුල්ල දුම්රියේ පට්ටිපොල හටන ඉවරකරපු  අයියා මලෝ දෙන්නා ගම්පොලින් පාරට බැස්සේ  මඟදි හමුදාවෙන් හම්බ නොවේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි .





ප.ලි - හැමෝම අහනව ඇයි මටම  එක එක විදිහේ  අමුතු ආතල්  සෙට් වෙන්නේ කියලා . ඉතින් මමත් පොඩ්ඩක් හොයලා බැලුවා ඇයි කියලා ..උත්තරේ හම්බ උනා !                 
                          දෙයියනේ !! ......... මේක ජාන වලින් එක එකක්....... ඔය උඩ තියෙන කථාවේ මල්ලි කියන්නේ අපේ තාත්තා ..... දැන් හිතා ගන්ඩලාකෝ ....... ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා . අපේ තාත්තා රස කථා ‍ගොඩක් කිව්වා , ඒ කථා මට වෙලා තියෙන ඒවට වඩා හෙන ඇඩ්වාන්ස් .......
 අන්තිම නිගමනය තමයි මට මෙහෙම වෙන්නේ ජාන වලින් ලැබුන දෙයක් නිසා.  

Thursday, January 10, 2013

ශෝයි අනේ හරිම හොට්නේ ( නපුංසකයෙකුගේ ආලය )





දෙයියෝ............ සාලේ කිව්වලු ,

උදේ අට වෙලත් ඇඳ උඩ ඒපැත්ත මේ පැත්ත පෙරලි පෙරලි , ඇඹරි ඇඹරි හිටපු මාව ඉද්ද ගැහුව වගේ කෙලින් උනේ අද උදේ 8.30 වෙනකොට පෙනී ඉන්න ඔනේ මැත ලෙක්කචරේ සිහි වුනාමයි . 
                              ෆුල්ම ගට දාලා රෙඩී උනොත් 9 වෙනකොටවත් ඇතුලට පනින්න පුලුවන් වෙයි . නො‍ගිහින් හිටියොත් ලෙචාගෙන් අවුලක් නැතත් බෙන්ච් එකේ ඉන්න සින්නොන් ගෙන් අවුලක් යන්න තියෙන ඉඩ නිසා නැගිටපු වේගෙන්ම  මෙලෝකේ සිහියක් නැතුව ඇඳ පහලට පැන්නා . 
 නො‍දකින් නොදකින් නොදෝමකින් ..... උදේ පාන්දර ඇදෙන් බිමට කූඥ්ඤ දෙක ගහල තියෙන්නේ කවුදෝ එකෙක් අසමජ්ජාති විදිහට ඇද පල්ලෙ තියලා තිබුන වතුර බේසමකට ......
                                          එච්චර වෙලා මාව බදාගෙන හිටපු නිද මත , මේ දවස් වල තියෙන සීතල වතුරත් එක්ක කොහේදෝ වාශ්ප වෙලා ගියා . එහෙම්ම ඉදගෙන කල්පනා කලේ කවුද යකෝ මගේ ගෙදරම ඉදන් මට මෙහෙම දෙයක් කරන්න ඉන්නේ කියන එකයි , වැඩිය කල්පනා කරන්නේ මොකටද ..... වෙන කවුද ඉතින් මයේ නගාගේ වැඩ තමයි ඔය. 
                                             ඊයේ උදේ  කෙල්ල ක්ලාස් යන්න  දාන සෙරෙප්පු කුට්ටම් දෙකෙන්ම එකකින් එක ගානේ හැංගීමේ ප්‍රතිවිපාක තමයි මේ ...... නිදිමත කපාගෙන යන්න රිටන් එක වැදුනට පස්සෙ තමයි මීටර් උනේ ඇදන් හිටපු සරමටත් වතුර උනාගෙන ඇවිල්ලා  විලුඹ හරියෙන් ඉදන් වියතක් විතර උඩට යනකන්ම හෙන තෙත පැල්ලමක් හැදිලා කියලා .
ඕවා බල බල ඉන්න වෙලාවක් නෑ යකෝ නැගිටලා පල .... මගෙ හිත මටම දොස් කියනවා ..... නගාට බනින්නත් බෑ ! උදෙන්ම ඉස්කෝලෙ ගිහින් ඇති .....

උදේ පාන්දරම කකුල් දෙකෙන් වතුර පෙරාගෙ සරමත් තෙමාගෙන කුස්සියට දුවගෙන ආපු පුතන්ඩියා දිහා අම්ම බලාගෙන හිටියේ අමුතු සතෙක් දැක්කා වගේ .
" මොකෝ චුටි පුතා‍ මේ ? " අම්ම ඇහුවේ තෙත පැල්ලම දිහා බලාගෙන ලාවට හිනාවෙන ගමන් .
" මොකද තමයි ...... ඔයාගෙ දෝනි ඇද්දැගේ වැඩ  ..... පරක්කු වෙනවා අම්මේ .... මං එන්න කලින් ‍නංගි ආවොත් මං වෙනුවට බනින්න ඈ ! " එහෙම කිහාගෙන එක උගුරට දෙකට කිරි කෝප්පෙත් කටේ හලාගෙන ..... මම රිංගුවේ මූන කට හොදන ගුලට . 
                             එව්ව මෙව්ව කරගෙන පොඩි වෙච්ච ටීශර්ට් එකකට කලබලෙන් අතට අහු වුන කුණු ගෑවිච්ච ඩෙනිමකුත් ඇදගෙන ‍ගෙදරින් එලියට බහිනකොට වෙලාව 8.30ට ඇති . ඔන්න ‍දැන් එහෙ ලෙච පටන්ගෙන , ඒත් අපි තාම මිදුලේ ... ඉතිං බලහංකෝ රටේ අනාගතේ බාරගන්න ඉන්න උ‍න්ගේ වැඩ .
" අදවත් කොන්ඩේ කපන් එනවද !!! " 
" වෙලාව තිබ්බොත් බලමු අම්මේ .............  තාත්තා කිව්වානේ කපන්න ඔනේ නෑ ඕක අවුරුද්දක් විතර වවලා බලමු කියලා ... අනික මං දැක්කා ‍පරණ ෆොටෝ .... ඒ කාලේ තාත්තත් මෙහෙමයි ...."
ඊට පස්සෙ අම්ම කියපු දේවල් ඇහුනේ නැත්තේ ඒ වෙනකොටත් මං පාරට ඇවිත් හිටපු නිසයි .
බස් එකට නැගල ඉදගත්තහම හිතට පුදුම නිවනයි . ඇයි ඉතින් දැන් පරක්කු උනොත් මගේ වරද නෙවෙයිනේ බස් කා‍රයාගේ වරද ! 
අව්ව වැටෙන්නේ නැති පැත්තේ ඉදගෙන ෆෝන් කට්ටෙන් ගේමක් ‍ඔබ ඔබ විනාඩි 20ක් විතර යන්න ඇති ....... පුංචි බොරැල්ල හරි‍යට ලං වෙනකොට මගේ බරණුවට සන්දේශයක් ආවනෙව ...

- මැ‍ජිකෝ ( මැජිකා = දිනෙල්ක ) අපි ලෙචට ගියේ නෑ ..... සරිගමයගේ ගෙදර යනවා .... බොරැල්ලට වරෙන් ... වයි ඇම් බී එක ඉස්සරහා අපි ඇති - 

 බොරැල්ල හෝල්ට් එකට හොල්ට් දෙකතුනක් මෙහායින් තිබුන  තැනකදි පින්ටුවා ගේ ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට ඔය මැසේජ් එක නො‍එන්න, අද මට මේ කථාව කියන්න වෙන්නේ නෑ .ඇයි ඉතින් ඔය මැසේජ් එක එද්දි මං බොරැල්ල පහු කරලා හිටිය නම් තියෙන කම්මැලි කමට ආයෙ බහින්නේ නෑ අනිත් පැත්තට එන්න . 
 සදීපා එක ලඟදි ‍බස් එකෙන් බැහැලා පින්ටුවට කෝල් එකක් ගත්තා 
" හලෝ !"
" මචං කොහෙද ඉන්නේ ? " 
" මං සදීපා එක ගාව බං "
" එල එල ! ඉක්මනට වර .... අන්න සරිගමයගේ අම්ම අපිට කෑමත් හදාගෙන බලාගෙන ඉන්නවලු "
" අනේ ........... මං නොදන්න උගේ අම්මගේ ......... කෑම ... හිටහංකෝ මං තව විනාඩියෙන ඔතන "
                   සංගීතය ජීවිතය ‍කරගෙන අතල් එකේ ගිටාර් එක ගහගෙන මලක් පහනක් පත්තු කර‍ගෙන ඉන්න . කිරිබත්ගොඩ පොඩි කඩයක හිමිකාර තාත්තෙක්ගේ කොන්ඩේ වවාගෙන ,කරාඹු වක් දාපු අහිංසක හිතක් තියෙන අමුම අමු කාඩ  අමනයෙක්ගේ පෙනුම  තිබුනත් අමන වැඩ  නොකරන, එලම එල  කිරි , වච‍නයේ පරිසමාප්ත අර්ථයෙන්ම මොනවා බැරි උනත් සගීතය පුලුවන් කියලා හිතාගෙන ඉන්න එකෙක් තමයි සරිගමයා කියන්නේ . 
                         බැජ් එකේ අපේ සෙට් එක බොහෝ වෙලාවලදි සෙට් වෙන්න තෝරගන්නේ සරිගමයගේ ගෙදර .ඒකට හේතුව වෙන මොකක් වත් නෙවෙයි . උන්ගේ‍ ගෙදර දෙවනි තට්ටුව අපේම බුක්තියට වෙන්වෙලා තියෙන එක .
                        වයි ඇම් බී එක ගාවට යනකොට සෙට් එකේ අනිත් උන් සේරම ඇවිල්ලා.  ඈත තියා මං එන දිහි බෙල්ල දික්ක කර කරක බලාගෙන හිටියා .
" මොනවද බලන්නේ " 
" මොකද යකෝ මේ ..... උඹ සුනාමියකට අහුවුනාද ........ බලහංකෝ ඇදුමේ හැටි ....කොන්ඩෙ පිරලත් නෑ .....තෝ බුදියගත්තේ ආපු බස්‍එකේද "
" නෑ තොගේ @$$@@$$ ..... මෙන්න මෙහෙ කුණු හරප නැතුව මේ බස් එකේ නැගලා යං බං ........ ආයේ මඟුල් ගෙදරක යනයැ."
" ඔකේ යන්න බෑ බං .........."  එක පාරටම ඒ තිබුන බස් එකේ යන්න බෑ කියලා ආපු විරෝධෙට මාව පුදුම වෙලා ගියා .
" ඇයි ......... ? "
" බලහං ඕක හරියට හෝදලත් නෑ ...... මේ බලහං මෙකේ කොන්දා දත් මැදලත් නෑ."  දොඩං ගෙඩි දෙකක් තරං උස නැති උනාට මොකද සොබනිගෙ සද්දේ ඇහුනේ  කන අස්සේ ගහපු ලවුඩ් ස්පීකරයක් වගේ. 
" කට කට යකෝ .......  මේක බොරැල්ල ..... කන්නයි වෙන්නේ බීපු කිරි මතක් වෙන්න "
" ඇයි මෙහෙ චන්ඩි ද ඉන්නේ පෙන්නහංකෝ බලන්න එකෙක් ..... මාත් හරි ආසයි බලාගන්න ." ආයෙත් සොබනි .
ඉස්කෝලෙ ජීවිතෙන් වැඩිහරියක් ‍ගෙවුනු බොරැල්ල ගැන  මේකි දෙන ටෝකට රිටන් එකක් දෙන්න විදිහක් හොයාගන්න වට පිට බැලුව මට කොහෙන්දෝ තිබුන වාසනාවක් කඩාවැටුනා .
" අන්න බලහං පාරෙන් එහාපැත්තේ කහ ඉර ගාව ඉදන්න පාර මාරු වෙන්න හදන කොල්ලෝ දෙන්නා "
" අම්මට සිරි ........ උන් නං හෙන මැරයොද කොහොද බලහංකෝ හැටි ..." ඒ පචයා ගේ හඞයි .
                                     අපේ උං දැන් උන් දෙන්නා දිහා කන්න වගේ බලාගෙන ... මං දිනුං!
චන්ඩිද දන්නේ නැති උනත්, ඒ වගේ උන් දෙන්නෙක්ව පෙන්නුවානේ . ජයග්‍රහනයේ පලමු වෙඩි මුරය පත්තු කරගෙන සෙබනි ගාවට ගිහින් අත පුරවලා හීනියට ටොක්කක් ඇනලා දැන් මොකද කියන්නේ කියලා ඇහුවා .
" හරි හරි ........ හිටහංකෝ අපිටත් වාරයක් එයිනේ ..." 
                            මං පෙන්නපු කොල්ලෝ දෙන්නා ඇත්තටම හෙන මැර ලුක් එකක් තිබුන දෙන්නෙක් . 
                                         දෙන්නම ආම් කට් ගහලා ත්‍රීක්වාටස් වලට කහපාට සෙරෙප්පු දාලා හිටියේ ..... ඇඟිලි පහටම මුදු , ‍සුදු යකඩ මාල දෙකතුනක්ම බෙල්ල වටේට නයි වගේ එතිලා තිබුනා .
අපි උන් දිහා බලන වග උන්ටත් තේරිලාද කොහෙද මේ පැත්ත බල බල තමයි හිටියේ .
අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ මොකටද නේද .........
" ඇති යකෝ බැලුවා .......... 
                        මොන රෙද්දක්ද ‍යකෝ මුං තුම්පනෙන් ආව වගේනේ ..... " වෙලාවටම එතනට බස් එකකුත් ආවා .
" එන්න බැරි උන් හිටපන් මං මේකේ යනවා "
                                              සෙට් එකම  ගොඩ උනා ...... අපි විතරක් නෙවෙයි මැරයෝ දෙනන්ත් ගොඩ උනා ..... බස් එකේ අපි හැමෝටම එකට ඉදගෙන යන්න පිටි පස්ස සීට් එකේ ඉඩ නෑ .
කට්ටිය විසිරුනා ..... මායි පින්ටුවයි සොබනී .... අනිත්ම සීට් එකට සෙට් උනා .... මැරයොන්ට ඉඩ නෑ උන් හිටගෙන ... ළමා රෝහලට යන කං කිසිම අවුලක් තිබුනේ නෑ . ඒත් අවුල පටන් ගත්තේ ඊට පස්සේ . පිටි පස්සේ සීට් එකේ හිටපු අන්කල් ලා දෙන්නම එතනින් බැස්සා .... මැරයෝ දෙන්න ඉදගත්තා .සෙබනි ජනේලෙ ලඟ මම ඊඟට එතනින් පස්සේ පින්ටු පස්සේ මැරයෝ දෙන්නා .
මේන්න යකෝ හිටපු මැරයෝ දෙන්නගෙන් එකෙක් හෙනම හෙන ලතා වොයිස් එකකින් අනිකට කථා කරනවා ...... මාව කූල් වෙලා ගියා .සොබනිටවත් නෑ ඒ තරං පැහැදිලි ස්ත්‍රී වොයිස් එකක් ......... මුං දෙන්න සීට් එකට වෙලා දැන් හෙන හයියෙන් කථාව . මිනිස්සු හිනා වෙවී බලනවා ....
" බලන්න අද හරිම හොට් නේද ........."
"ඒකනේ .....කෝ මේ බස් එකේ අයියා ඒසී එක ‍ඔන් කරන්නෙ නෑ නේ .... අපි කෑගහල කියමුද " 
දෙදෙනාම - " අයියේ .......... රස්නෙයි "
 නොදකින් විතරක් මුං ම‍ගේ බොරැල්ලේ සායම කෑවා. සෙබනි , ‍මගේ දිහා බලාගෙන හිනා නොවී හිනා වෙනවා . ඒ මදිවට අරුනි කථා කරන වාරයක් ගානේ කොනිත්තනවා .
                                               වරදවා හිතන්න කාරි නෑ ..... ඒ ඇවිල්ලා අපි දෙන්නගේ අතරේ තියෙන සීතල යුද්දෙක ප්‍රතිඵල .අයියා-නංගිලා දෙන්නාගේ කථාව වෙනස් මාතෘකාවකට ගියා .
" බලන්න සදු කොච්චර ස්වීට් කොල්ලෙක්ද ඔයාගේ එහා පැත්තේ ඉන්නේ ...... " එකෙක් / එකියක් එහෙම කිවිවේ ම‍ගේ එහා පැත්තේ හිටපු පින්ටුවා දිහා බලන ගමන් .
"  මොනවද මල්ලි කරන්නේ .......... " පින්ටුවාට ප්‍රශ්නයක් 
" අපි අහවල් කැම්පස් එකේනේ .......... " 
" හනේ හරි  ශෝයි ........ බලන්න මිතූ ඔයාට සෙට් වෙන්න යනේනේ යුනිවර්සිටි කොල්ලෙක් " 
දැන් නං මටයි සෙබනිටයි විතරක් නෙවෙයි බස් එකේ බාගෙකට විතරම ඉල නෑ  .අපේ පින්ටුවාට කොල්ලෙක් සෙට් වෙන්නයි යනේනේ . මේක කිව්වහට ඌගේ කෙල්ලගේ මූන බලන්න ඔනේ .
" මල්ලි අපි දෙන්නටත් ඕකට එන්න බැයිද අනේ "
පින්ටුවා කථා නෑ 
" එපා අනේ ඒ කොල්ලගෙන් ඔනේ නෑති දේවල් අහන්න ..... " ඒ අනිකා .
" කොහෙද මල්ලි යන්නේ ...... කිරිබත්ගොඩද ?? " 
" අපි කොහො ගියාම තමුසෙලාට  මොකද ? " මෙච්චර වෙලා හිනා වෙවී හිටියට මට පින්ටුවාගේ වොයිස් චේන්ජ් එක අදුරගන්න අමාරු වුනේ නෑ ....මුට අම්බානක මල පැනලා ( එහෙම නොවුනොත් තමයි පුදුමේ ) 
" අනේ ........... මේ බලහල්ලකෝ  මෙයාට තරහ ගිහින් ...... ඔහොම තරහ ගන්න එපා රත්තරං, වයසට යනවා "
හිනාව ආයෙත් අළුත් උනා ....
" මෙන්න මේ ........... මෙයාගේ මූනත් රතුවෙලා " 
                       එහෙම කියාගෙන එකෙක් පින්ටුවාගේ නිකටෙන් ඇල්ලුවා . එච්චර වෙලා හිර කරගෙන හිටිය තරහ පිටවුනේ ඒ වෙලාවේ . පින්ටුවා මොකද්ද වුනා වගේ නැගිටලා අරුන්දෙන්නගේ එකෙක්ගේ මූණට මිට මොලවලා කෙලලා ඇරියා . 
                                                   ඔන්න බැජ් ෆිට් එක නැඟගෙන ආවා සරිගමයගේ ගෙදර යන්නආපු අපි සේරම එකතු වෙලා අරුන්ට  බස් එක ඇතුලෙම කෙලවෙව්වා . ඇන්ටිලා කෑගහනවා අනේ කවුරුහරි නවත්තන්නකෝ කියලා . ඒත් කවුරු නවත්තන්නද .... දෙන්නටම ඉහ මොල රත් වෙන්න ‍දීලා බස් එකෙන් එලියට දැම්මා .
" උන්ට ඔහොම තමයි පුතා කරන්න ඔනේ ...... මුං පිරිමි කම කනවා ..." අංකල් කෙනෙක් අපිට සප් එක . 




ප.ලි - මොනව උනත් උන් දෙන්නට ගහපු එක ගැන මම දුක්වෙනවා ..... ඒ වෙන මොනවත් නිසා නෙවෙයි . සමාජයෙන් සැලකිල්ලක් ලැබිලා නියම පිරිමියෙකුගේ තත්තවයට පත් කරන්න පුලුවන් මේ වගේ ජීවිත .... විනාස වෙලා යන එකට මටත් කරගහන්න වුන නිසා

Monday, December 31, 2012

සඳුන් අරටුව ... නොහොත් සිංහාවලෝකනය!




                                       සැඩ සුළඟින් කැඩී ඉරී විසිරී සීසීකඩ ගිය වැහි වලාකුළු බටහිර අහස වටකොට පැතිරුනේ ආක්‍රමණයකට මුලපුරන්නාවූ සතුරන්ට විරුද්ධව පෙළගැසේනා ගුරුළු රෑනක තරම් චන්ඩ විලාසයෙනි.හදිසියේ පුපු‍රා ගිය කස පහරින් අවදිවූ අසුන් රෑනක් වෙන් ඇඹරෙමින් දිව ආ සුළඟ , සතර අතින්ම බටහිර වා ගැබ පෙලන්නට විය .
                                          තැනින් තැන එබෙමින් සිටි හිරුමඩල පිළඹඳ ආරංචියක් පවා සොයාගත නොහැකි තරම්ය . යම රජුනිගේ අණින් අවදිවූ කුළු මී රැලක තරමට නපුරුවූ දළ රළගෙඩි , දුටුවන් භීතියෙන් උමතු කරවන තරම් විය .
                    බියකරු හඩක් නගාගෙන හිසට ඉහලින් හෙනයක් පිපිරිණි . ඊළඟට ඈත නිම් වලල්ලම දම් පැහැගන්වමින් විදුලි කොටන්නට වූයේ හාත්පස පැවති අඳුර සේම අහසද පුපුරවා දෙබෑ කරන්නට වන තරමිනි.
                                                                      ඔහු අවදිවූයේ  දිනය ආරම්භයේදීම සියල්ල මේ අයුරින් කනපිට හැරීතිබුන වාතාවරණයක් යටතේය.වැහිබිරුම තවත් එලෙසමය, කෙතරම්  අඳුරු වීදි යත්, ඒ උදයේ අඩි දෙක තුනක වත් දුරක් ඉදිරිය නොපෙනෙන තරම්ය.දින කීපයක් සිට පැවති අදුර මේ වනවිට තද වර්ශාවක් වී තිබීම ඔහුගේ සන්තාපයට හේතුවිය .දැනට ලැඟ සිටින අම්බලම  පෙර දිනයේ  හැරයන්නට අවස්ථාව තිබියදීත් එසේ නොයාමට ගත් තීරණය ඔහු වේදනාවට පත් කලේය. ඇතැම් විටකදී ඒ වේදනාව  උහුලාගත නොහැකි තරමට දරුණුවේ............. 
              මධ්‍යයේ ඊයම් පුරවා බලගැන්වූ යකඩ බරුවක් උගුරේ හිරවූ  අයෙකුගේ හැඟීමෙන් මිදෙන්නට උත්සහ දරන ඔහුගේ දෑස නිතරම කඳුලෙන් පිරී පැවතින් . හාත්පස වූ  ඝණ අඳුර නිසාවෙන් අසල වූවන්ට ඔහුගේ කඳුලු නොපෙනේ.
                                            රැය ගතකලාවූ අම්බලමට අඳුර නොතකා පැමිනියවුනගෙන් එය පිරීයද්දි , කුරිරු සමාජය තුල කිසිවක් සිතැගි පරිදි කළ නොහැකි යථාර්ථය පහැදිලි කරමින් ඔහුට සිදුවූයේ එකට සිටි උන්ගේ පාපහර ලැබ අම්බ‍ලමෙන් එලියට විසිවන්නටය. 
                             ආලෝකයක් ලබාගන්නට කිසිවක් නොමැතිවා සේම නොතෙමී යන්නට උපකාරීවන කිසිවක් ඔහු සතු නොවීය . තිබූ සියල්ලද අම්බලමේ සිටි උන් උදුරාගෙන හමාරය. වැස්සට තෙමීමත් පහරකෑමේ වේදනාවත් අඳුරේ යමෙන්  තැන තැන වූ ගල් කුළුවල පා වැදීමත් නිසා දුර්වල වූ හෙතම සිහි මූර්ජාවීම අරුමයක් සේ නොවේ යැයි සිතමි.
                                   දුර්වල උන්  දඩමීමා කරගෙන කුස පුරවාගන්නා කුඩුකාරයින් , රස්තියාදුකාරයින්, අධමයින් හා ගණිකාවන් රැලක් විසින් වටකරගනු ලැබ ඉක්බිති කුදලාගෙන යෑම දක්වා සිදුවීම් දාමයකට මුහුන දෙන්නට ඔහුට සිදුවන්නේ මේ කාලසීමාව තුලදීය.මුලසිටම පිළිකුල් කගවුන් සමඟ එසේ සහවාසයේ යෙදෙන්නට වීම දෛවයේ සරදමක් විය යුතුය.
                                          සිහිය ලැබෙනවිට මධ්‍යාහනද පසුවී තිබිනි ,  නැගිට යාමට තරම් ශක්තියක් සේම උවමනාවක්ද නොවීය . අඳුර එලෙසමය.විටෙක සිතුනේ මේ අඳුර විසින් තම ජීවිතය වෙලාගෙන ඇති බවත් එයින් මිදීයාමට නොහැකි බවත්ය. නමුත්  විටින්  අඳුර මැදින් මතුවන විදුලි එලි නිසාවෙන් හාත්පස පරිසරය දැකීමේත් එමගින් සතුටක් ලැබීමේත් වාසනාව ඔහුට හිමිවිය , එහෙත් ඒ නිමේශයකට පමණි .
                                           නැගිට ගැනීමට තරම් ශක්තියක් ලද පලමු අවස්ථාවේදීම  ඔහු නැඟිසිටියේය , ඒ  පවස නිවා ගැනීමට දිය පොදක් සොයාගැනීම උදෙසාය.දිය උල්පත අසලදී හමුවූ තරුණීයකගෙන් ලද්දාවූ ත්‍යාගක් නිසා ඔහු පිනාගියේය . ඒ ඔහුගේ සොදුරු මතකයන් පිරීගියාවූ අතීතය ගැන ඇය විසින් සටහන් තබන ලද පුස්ථකයකි .ඇය නපුරු විය .යලි කිසිදා හමු නොවන අයුරුන් ඔවුන් වෙන්ව ගිය නමුත් ඇය ඔහුගේ ජීවිත දිශාව වෙනස් කලාය. සිතන්නට යමක් ඉතිරිකලාය.
              උල්පත අසල ජීවිතය සේම අධම‍යින්ගෙන් වෙන්වීමේ තීරණය ගන්නා විට පරිසරය මදක් එලිය වැටී තිබිනි . ඔහු දැන් නැවතත් ගමන අරඹා ඇත . ඔහු වැන්නවුන් රැසක්ම හේ වටා එක්වූයේ නව ගමන එක්ව යන්නටය . දිනය අවසාන වීමට ඇත්තේ තවත් පැය කීපයක් පමනි. 
අද රාත්‍රියේ ඔහු නවාතැන් ගන්නා අම්බලම බෙහෙවින්ම ආලොකමත්ය නමුත් පරිසරයේ වූ අඳුර තවමත් සම්පූරණයෙන් පහවී ගොස් නැත. කම් නැත , රස්තියාදුකාරයින්ගෙන් හා ගණිකාවන් ඇසුරේ සිටියදී ඔහු ඉගෙනගත් දෙයක් විය . ඒ නූපන් හෙට ගැන නොතැවී අද ජීවත්වීමයි . එය ජීවිතය සැහැල්ලු කරනු ඇති බව ඔහුගේ හැඟීමයි.


සමහර විට හෙට ආයෙත් වහීවී ...... කාටද කියන්න පුළුවන්...... ජීවිතය කියන්නේ සදුන් අරටුවක් ..... හිටවලා තියෙනකන් තවත් ගහක් විතරයි උනාට කැපුවහම වටිනාකම කියන්න බැරිතරම් .තැලුනාම , සුවද ඉස්තරම්.



හැමදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!! 

ප.ලි - තේරෙයිද මන්දා !!!!





 

Sample text

Sample Text

Sample Text