Social Icons

හොයමු බලමු

Tuesday, April 16, 2013

සිත්තරෙකුගේ අවුරුදු සැමරුම ................. ( හිරකරුවෝ මනුශ්‍යයෝ ද ? )



        
                    දවසේ වැඩිම වෙලාවක් කට කපලා වාහන පිරිලා තිබුනට මොකද හවස 5.30 න් විතර පස්සේ බෙස්ලයින් පාරේ බො‍රැල්ල  Y.M.B.A එක හරිය , දන්න කියන මිනිස්සුන්ට අමුතුම විදිහේ නිස්කලංක බවක් දෙන තැනක් බවට පත්වෙනවා .
                                   මුලු ජීවිත කාලෙම හරි  ජීවිතෙන් වැඩි කොටසක් හරි , කොළඹ ඉන්න ලොකු ලොකු නෝනලා මහත්තුරු සැප ගන්න යන ජාතියේ ගමක ජීවත් වෙච්ච කෙනෙකුට නං ඒ වෙලාවෙත් මම ඔය කියපු තැන මහ ලොකු වෙනසක් දැනෙන එකක් නැති උනාට ටවුමේ ජීවිතේට හැඩ ගැහිච්ච කෙනෙකුට නං ඒ වෙලාවේ එතන තියෙන වෙනස ඇඟට දැනෙන එක ශුවර් .
                                තද රතු පාටට ගිනි බෝලයක් වගේ ඉර බැහැල යනවා බලන්න මුහුදු වෙරලකට යන්න ඔනේම නෑ ....... මාර්තු අප්‍රේල් මාස වලදී Y.M.B.A එක ඉස්සරහට ඇවිත් හිටියාම , ඇතුල් වීමේ දොර ගාව හදලා තියෙන හිදි පිලිමෙ පිටිපස්සෙන් හරි අපූරුවට ඉර බහිනවා බලන්න පුලුවන් . 
                                 බුදු පිලිමෙත් එක්කම පටන් ගන්න අතුරු පාරේ පිලිමෙට හෙවන දෙන්න වගේ ලොකුවට හැදිලා තියෙන රෑස්ස ගහත් , බැහැගෙන යන ඉරෙන් පෙරිලා එන එලියත් එක්ක  ලාවට හමාගෙන එන හුළඟට එතනම ඉස්සරහා වවලා තියෙන ෆාම් ගස් හෙලවෙනකොට මැවෙන්නේ අමුතුම විදිහේ රටාවක් .
                                            ඉස්කෝලේ  අවුරුදු  නිවාඩුව දෙන්න තව තියෙන්නේ දවස් හතරක් පහක් විතර පොඩි කාලයක් .පලවෙනි වාරෙට කරන්න  තියෙන පාඩනුත් ඉවරයි ...........වාර විභාග ඉවරයි ....... ලකුණු දීලත් ඉවරයි .... පන්තියේ එක දෙක තුන තෝරලත් ඉවරයි ........ ලකුණු අඩු විශයන් ගැන මතක් කරලා ගෙදරින් බැනුං අහලත් ඉවරයි . කොටින්ම කිව්වොත් කරාතේ ප්‍රැක්ටිස් නොවෙන්නට නිවාඩු දෙන දවස වෙනකං ඉස්කෝලේ යන්න කිසිම විදිහක උවමනාවක් තිබුනේ නෑ . 
                                                  ඉස්කෝලේ ඉවර වෙලා 2.30ට විතර පටං  ගන්න පුහුණු වීම් ඉවර වෙනකොට හවස 5.30ට විතර වෙන එක සාමාන්‍ය දෙයක් . ඒවගේම තමයි පුහුණු වීම් ඉවරවෙන හැම වෙලාවෙම අපි හැම එකෙකුටම කෙලින් ඉන්න බැරි තරමට  ඩල් වෙලා ඉන්න එකත් සාමාන්‍ය දෙයක් .... 
                                      කකුල් දෙක අත්දෙකින් උස්ස උස්ස ඇවිදගෙන බස් හෝල්ට් එකට ඇවිත් , වෙනදට දූවිලි පොදක් වදින්න දෙන්නේ නැති බෑග් කට්ට  Y.M.B.A  එකේ පඩි පෙල උඩට අත ඇරලා , සුදු කලිසමට හෙන ගහපුදෙන් කියලා හිතාගෙන ඒ පඩි පෙල උඩම ඉදගෙන බස් එකකට මග බලාගෙ ඉන්න එක අපි හැම අඟහරුවාදම පුරුද්දක් විදිහට කරනවා . අපි කියලා කිව්වම මොකද ඔතන ඉන්නේ මං විතරයි , අනිත් උන් සේරම බස් එකට නගින්න පාරෙන් එහා පැත්තට යනවා . 
             වැඩ ඇරිලා ගෙදර යන කීපදෙනෙකුත් , පාට ‍තුනේ පූස් පැටව් පස් දෙනෙකුට මල් පඳුරු අස්සේ හැංගිලා කිරි පොවන පූස් අම්මෙකුත් ඇරුනාම එදා Y.M.B.A  එක ගාව බස් එකට නගින්න වෙන කවුරුත් හිටියේ නෑ. 
" මහත්තයා තේ එකක් බොන්න කීයක් හරි ගන්න බැයිද ? " ටිකක් දුරින් වෙන්න  කොනකට වෙලා බස්‍ එකක් එනකං  හිටපු අංකල් කෙනෙක්ගෙන් අතපය හතරම හොඳටම තියෙන ඒත් කෙඩෑරි වෙලාගියපු ඇඟක් තියෙන් මිනිහෙක් අහන සද්දේ , පාං කියාගන්නවත් බැරිව  පැත්තක වැටිලා හිටිය මට ඇහුනේ පාරේ මහ හුඟක් වාහන තිබුනේ නැති නිසා වෙන්න ඇති . 
මිනිහා තාමත් බලාගෙන , ඒත්  අංකල්ගෙන් නෝ රිප්ලයි .
වැඩේ හරියන්නේ නැති බව තේරුන නිසා වෙන්න ඇති මිනිහා එතනම එහා පැත්තේ හිටපු ඇන්ටි කෙනෙකුට හැරුනා .
" නෝනා ......... අවුරුද්දට දානයක් දුන්නා කියලා හිතාගෙන කීයක් හරි දෙන්න පුලුවන්ද ...... දවසටම මොනවත් කෑවෙ නෑ .... කෑවනං මෙහෙම ඉල්ලන්නෙත් නෑ " මිනිහා අඞන්න වගේ . ඇන්ටිගෙන් 10ක් හම්බවුනා . තව ‍එතන හිටපු දෙතුන් දෙනෙකුටම කථා කරල මිනිහා ඇදුනේ මං ඉදං හිටපු තැනට .......... 
නොදෝමකිං ...........දැං හරි මගෙනුත් ඉල්ලයි....  අතපය හතර තියාගෙන හිඟාකන උන්ව මට පේන්න බෑ .....එහෙම උන් රටට ණයයි . පාං කියාගන්න බැරුව ඉන්න අස්සෙ මගෙන් ජෑම් ඉල්ලන්න එන මුගේ ජාතිය අමතන්න හිතාගෙන කට උල් කරන් හිටියට මොකද ටිකක් වෙලා මගේ දිහා බලං ඉදලා මූ අනිත් පැත්ත හැරුනා........
අයියෝ සල්ලි ...... මගේ බලා පොරොත්තු සේරම ඉවරයි , මූ මගෙන් ඉල්ලුවේ නෑ ...........ඒ වෙනුවට පාරෙන් එහා පැත්තේ රතිංඤ්ඤායි අනං මනනුයි විකුනන කඩෙයක් ගාව  ප්‍රාඩෝ එකකින් බැහැලා අහස් කූරු බන්ඩලක් ගන්න මිනිහෙක් දිහා බලාගෙන හිටියා .....
                           ටික වෙලාවකිං   ප්‍රාඩෝ එක යන්න ගියා අර මිනිහත් අනිත් පැත්ත හැරිලා මං ඉදන් හිටපු පඩියට පහලින් තියෙන පඩියේ ඉද ගත්තා .
" දැක්ක නේද මල්ලි .......... " මූ මට කථා කලා 
" මොනවද ? "
" අර කාර් කාරයා සල්ලි පිච්චුවා "
" මොන ? "
" අර අහස් කූරු ගත්තේ , උන් අපි වගේ එකෙක් ඉල්ලුවොත් තමයි නෑ කියන්නේ  ............... ඒත්  අවුරුද්දට  පුච්චන්න නං ඕනේ තරං සල්ලි "
" ඒක ඉතිං ඒ මිනිහාගේ සතුටනේ , අනික මොන එකකටද ඔයා උගෙං සල්ලි ඉල්ලන්නේ . ඔය අත පය හොඳට තියෙන්නේ " මං එහෙම කිව්වේ ලාවට හිනාවෙන ගමං . මිනිහා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියා .
" මල්ලි දන්නවද , කිසිම මිනිහෙක් කැමති නෑ අනුංගේ ලඟට ගිහිං අතපාන්න ........ අර කොනේ ඉන්න මහත්තයා මට සත පහක් නොදී අහක බැලුවාම , මට මොන තරං ලැජ්ජා හිතුනාද කියලා දන්නවද ....... ඒත් මං ඒක ගනං ගන්නේ නැතුව ඊලග එක්කනා ගාවට ගියේ ඇත්තටම  ඊයේ  උදේ හිරෙන් එලියට එනකොට දීපු සල්ලි සතේට ඉවර වෙලා තිබුන නිසා , අද දවසටම මං මොනවත් කෑවෙ නැති නිසා ..... "
" හිරේ ............. ?????? " අන්න ඒ වෙලාවෙනං උඩ ගියේ මාව , ලොල් ටෝක දුන්නේ වැරදි පොරකටද දන්නේ නෑ ......... ඇඟටත් පන නැතුව ඉන්න අස්සේ අවුලක් ගියොත් එහෙම බටගොල්ලෙ යන්න වෙන්නේ පෙට්ටියකින් තමයි .
" ඔවු ඔවු .............. දැං බය හිතුනද ? "
" කාටද ? " මොනව උනත් කෙලිං ඉන්න එපායැ .
" නැත්තං කමක් නෑ  !!!! මහ ලොකුවට ගහලා තියෙනවා හිරකරුවෝ මනුශ්‍යයෝය කියලා , ඒ උනාට හිරේ ගිහිං තියෙනවා කිව්වාම මෙලෝ යකෙක් ගනං ගන්නේනෑ ........ 
 ඊයේ හිරෙන් එලියට ආවාම කල්පනා  කලේ ආයේ ඇතුලට යන්න කලින්  මොනවද දැං කරන්නේ කියලා "
" ආයේ ඇතුලට යන්න හිතාගෙනද ඉන්නේ " 
" කොහොමත් යන්න වෙනවා ......... මං මුලිංම හිරේ ගියේ 92 අවුරුද්දේ , කුඩු ගහලා . මාස හයක් ඇතුලේ සතියක් එලියේ ...... දිගටම චක්කරේ වගේ ගියේ ඔය වගේ තමයි  . ඒක නවත්ත ගන්න බෑ ඒ හින්දා තව සතියකින් දෙකකින් ආයෙත් පොලීසියෙන් අල්ලං යයි "
" අම්මට සිරි ..........!!!! " ඉක්මනට බස් එකක් එන්නේ නැති හැටියක් .
" ඊයේ එලියට අවේ ආයේ නොයා ඉන්න හිතාගෙන , හොඳ මිනිහෙක් වෙන්න හිතලා ...........ඇවිල්ලා   බැනර් අඳින මුදලාලි කෙනෙක් ගාවට ගිහිං කරන්න වැඩක් ඉල්ලුවා "
" ඇයි බැනර්ම ??? " කථාවක් කියන්න යන නිසාද කොහෙද මටත් නිකං ටිකක් විතර ඉන්ට්‍රස්ට් ගතියක් ආවා .
" මට පිහිටලා තියෙන්නේ චිත්‍ර කර්මේ මල්ලි .......... පුලුවන් දෙයිං ඉස්සරහට යනවා කියලා තමයි ගියේ . චිත්‍ර පටියකට කටවුට් එකක් අදින්නයි හම්බවුනේ . මේ දවස්වල ඩිජිටල් ප්‍රින්ටිං වැඩී තමයි ඒත් සමහරු තාම චිත්‍රෙන් කටවුට් ගහනවා "
" ඉතිං "
" ටිකක් ඇඳන් යද්‍දි දීපු තීන්ත ඉවරයි , හවස් වෙලා නිසා ඔෆිස් එකේ කට්ටියත් නෑ !!! ඉතිං හිරෙන් එලියට එදිද දෙන සල්ලි වලින් තීන්ත ගත්තා .අරන් අද උදේ වෙද්දි වැඩේ ඉවරයි . වෙන මිනිහෙක් නං සතියක් හමාරක් ගනී ....... මං එක දවසිං ඉවරයි " ඒ ටික කියද්දි මිනිහගේ මූනට අමුතුම එලියක් වැටුනා .
" ඉතිං මොකද උනේ ? " 
" උදේම මුදලාලි ආවා ............. කටවුට් එක දැක්කම මිනිහගේ ඇස් උඩ ගියා මල්ලි ........ ඒත් ඒක වචනෙං පෙන්නුවේ නෑ .......... ඒතැන  වැරදී මෙතැන වැරදී .... අරකයි මේකයි කියලා තීන්ත වලට මගෙන් ගියපු ගාන දෙන්නෙ නෑ කිව්වා විතරක් නෙවෙයි 3000කට පොරෝන්දු වෙච්ච එක 1500යි දෙන්නේ කිව්වා ...... මං ඌට දෙකක් කියලා බලාගෙන ඉන්න තැනම බැනර් එකට චූ කරලා  බැස්සා එලියට ......
                                  අතේ සතයක් නැති එකෙක් විදිහට  කන්න බොන්නවත් නැතුව කරගැහුවා . වතුර ටිකක් බොන්න හෝටලේකට ගිහිම බනිනවා ගිහින් නාගෙන ඇවිත්  වතුර බීපං කියලා ...... අන්තිමට කාගෙන් හරි ඉල්ලනවා කියන තැනට ආවා ...... මොනවා කරන්නද  !               
                                                             ඉස්කෝලෙ ඇරිලා ගෙදරයන කොල්ලෙක් ගෙන් කීයක් වත් ඉල්ලන් බැරි නිසයි මං මල්ලිට කරදර කලේ නැත්තේ . ඒත් මල්ලියේ උඹ ඉගනගෙන ලොකු තැනකට ගියොත් අපි වගේ උන්ට උර වගේ සලකන්න එපා  " මට කියාගන්න දෙයක් හිතා ගන්න බැරි උනා .බනින්න කට උල් කරං හිටපු මට මොනවත් හිතෙන්නෙ නැති තැනටම ආවා .                                                            
                  ඇත්තටම හිර කාරයොන්ට මනුස්සයෝ විදිහට අපි සලකනවද . 
හිරෙන් එලියට ආපු එකෙක් දිහා නිවැරදි මිනිහෙක් දිහා බලන විදිහට අපි බලනවද ? හිතන්න දෙයක් .







ප.ලි -  එදා හම්බවුන චිත්‍ර ශිල්පියා කවුද කියන එක ගැන පසු විපරමක් කරන් ඔනේ කියලා මට හිතුනේ ඒ සිද්දිය වෙලා මාස 3ක් විතර ගියාමයි . හොයාගත්ත තොරතුරු වැලිකඩ බන්ධනාගාරේ ඉන්න බොහොම ප්‍රසිද්ද හිරකාරයෙක් එක්ක හුඟක් දුරට ගැලපුනා . 
ඒත් හරියටම නොදන්න නිසා මං නම කියන්න යන්නේ නෑ . ඒ ශිල්පියා වැලිකඩ හිරගෙදර ඇතුලේ ඇඳපු බොහොම ප්‍රසිද්ද වෙච්ච චිත්‍ර ටිකක් පෙන්නන්නං ........ ශිල්පියාව අඳුරගනී කියලා හිතනවා.  පොස්ට් එක පටන් ගන්න තැන තියෙන්නෙත් එයා ඇඳල තියෙන බොහොම ප්‍රසිද්ද චිත්‍රයක් .











Thursday, April 11, 2013

ඉතින් සමුගන්න අවසරයි , සභාවෙන් අවසරයි ..................... - විලක්කුව-

සිංහල අවුරුද්ද ලබන්න  තියෙන්නේ  අතේ ඇඟිලි ගානටත් වඩා අඩු දින ගානක් . මතක ඇති කාලේ ඉදන්, හැම අවුරුද්දෙම මාර්තු මාසේ මැද හරියේ ගේ පිටිපස්සේ අඹ ගහේ වහලා ඉදන්ම පුදුමාකාර විදිහට වද දෙන  කොහා මේ පාර නෑ . කො‍හාට අවුරුදු අමතක වෙලා .....
     කො‍හාටයි මටයි කියලා ‍වැඩි වෙනසක් නෑ මටත් අවුරුද්දක් ලං වෙලා කියලා දැනුනෙ නෑ . වෙනදට ඇඳුම් ගන්න යන්න කථා කරන අම්මා මේපාර මට යන්න කථා කලේ නෑ . එයාල ගියෙත් නෑ . හැමෝගෙම හිත්වල මොකද්දෝ අමුතු දෙයක් හි‍රවෙලා , කාටවත් ඒ හිරවෙච්ච දේ එලියට දාගන්න විදිහක් නෑ . ඒ වෙන මොනවත් නිසා නෙවෙයි . කවදාවත් නැතුව මේ වගේ හෝන්දු මාන්දු ගතියක් දැනෙන්නේ ඇයි කියලා හිතා‍ගන්න  බැරි නිසා , ඇත්තම කිව්වොත් කියන්න තරං හේතුවක් නැති නිසා , හේතුව මොකද්ද කියලා හිතා‍ගන්න බැරි නිසා . 
                                                ගිය අවුරුද්දේ සැප්තැම්බර් මසේ දවසක විලක්කුව කියන බ්ලොග් එක පටන් ගන්නකොට  දිනෙල්ක කියන චරිතෙ වටේට ගොඩ නැගිලා තිබුනෙත් මේ දවස්වල තියෙනව වගේම වට පිටාවක් . හිතේ තියෙන දේ එලියට දාන්න විදිහක් නැති වට පිටාවක් . ඔනේවට වඩා වෙනස් විදිහට හිතුවාමත් හරි කරදරයි කියලා හිතෙන වට පිටාවක් මැදින් තමයි විලක්කුව පටන් ගත්තේ .
කොහොම මොන විදිහකට පටන් ගත්තත් මොකද කොළඹ ගෙන්දගම් පොලොවේ වාහන හෝන් සද්ද අස්සේ ඉදන් ලියවිච් විලක්කුවට උඹලා සේරම ආදරේ කලා .....................
වැඩිය කථා ලියවිලා නෑ , ලියවිච්ච කථා අතරේ කිසිම බොරු කථාවකුත් නෑ , මගේ අද්දැකීම් ඒ විදිහටම ලියවිලා තියෙනවා , කාටවත් ‍බො‍රුයි කියලා කියන්න බැරි විදිහට මගේ ජීවිතේ   වැදගත් කථා බොහොමයක් මේ බ්ලොග් එකෙන් එලියට ආවා .
 බ්ලොග් කෙරුවාවෙන් බොහොම ලස්සනට හිතන කොල්ලෝ කෙල්ලෝ ටිකක් අදුර ගත්තා . ගෙට්ටුවට ඇවිත් උන්ව හැබහින් දැක ගත්තා . බ්ලොග් ලෝකේ හරි ලස්සනයි , ඒක ඇත්තටම වෙනම ලෝකයක් .
ඔන්න ඔහොමයි කථාව ...............
           කලින් කිව්වා වගේම දැන් මාස තුනකට ලං වෙන්න වෙනවා විලක්කුවේ කිසිම දෙයක් ලිය වෙච්ච නැති ................. දැන් ඉතිං ඇතිනේ . මෙහෙම නිකං තියෙන එකේ තේරුමක් නැති නිසා මං හිතුවා මේක නවත්තලා දාන්න ..........පටන් ගත්තු හැමදේම කාලේ ඉවර උනාට පස්සේ ඉවර වෙන්න ඔනේ ...... බ්ලොග් එකටත් ඒ ධර්මතාවට වලංගුයි ...... අදින් පස්සේ විලක්කුව ලියවෙන්නේ නෑ ..............මගෙත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම බොහෝම ස්තූතී ..
අදින් පස්සසේ ලියවෙන්නේ විලක්කුව නෙවෙයි.......... 
විලක්කුව සීසන් 2 ........... :D
හරි එහෙනං වෙල්කං බැක් කිව්වා 

විලක්කුව ලියපු දවස් ටිකේ සමරියක් නොදුන්නොත් හරි නෑනේ .........
මගෙත් එක්කම ඒ කාලෙම පටන් ගත්තු හුඟක් බ්ලොග් වලට වීව්ස් 20000 ක් ගන්න පෝස්ට්  පනහක් අඩුම ගිහින් තියෙනවා ....... හැබැයි මට ගියේ පෝස්ට් 36යි .
ඔන්න සමරිය ,
පෝස්ට් - 36 
වීව්ස් ( ලියන වෙලාවෙදී ) - 24046
එක පෝස්ට් එකකට වීව්ස් සාමාන්‍ය - 667.94444
වැඩිම වීව්ස් තිබුන පෝස්ට් එක - ගනිකාවක් සමග පැයක් ( අමුවෙන්ම ) 
අඩුම වීව්ස් - හිඟනකම 
හිට් වෙන්න පටන් ගත්තේ - 18+ ද මන්දා 

                                 සභාවෙන් අවසරයි එහෙනං 

Tuesday, January 15, 2013

පාසල ගිණි තැබීම ( ඉස්කෝලේ කට් කරන්න නියම ප්ලෑන )



                    කොහේදෝ දුරක ඉදන් හඬලන කුකුලෙකුගේ සද්දෙ මොන තරං හයියෙන් ඇහුනත් , උදේ පාන්දර ආච්චි අම්මා හදන එල කිරි වීදුවේ සුවද නහය ගාවටම එනකන් ඇ‍‍ඳෙන් නැඟිටින්නේ කොහොමද ........

" මගෙ චූටි මැණික තාම දොයිද ........ නැගිටින් මයේ අම්මා ... ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා නේ ...... මෙන්න මං මාරි බිස්කට් පැකට් එකකුත් ගෙනාවා .... එන්නකෝ තේ පොඟවලා සීනී ගාලා කවලා යන්ට ලෑස්ති කරන්න " 
                         උදේ පාන්දර නැගිටගෙන , පට්ට හීතලේ ගැහි ගැහි මීදුම අස්සෙන් , ඇලවේල්ල දිගේ සීරුවට ගිහින් නෝනා ආච්චිගේ කඩෙන් නේද දෙයියනේ මේ බිස්කට් ගේන්නේ කියලා හිතට එනකොට  මාසයක් නිදිමරලා හිටියත් නැඟිටින් හිතෙනවා .
                                             තාම අවුරුදු පහේ පොඩි කොල්ලා උනාට එහෙම දෙයක් තේරුං ගන්න බැරි තරං බින්දුවේ මානසික මට්ටමක් මට තිබුනේ නෑ ...... ඔව්, ඒ මම තමයි, මීට අවුරුදු 15කට කලින් මගේ ගමේ ඉද්දි ආච්චි අම්මා මාව ඉස්කෝලෙ යන්න නැගිට්ටවෙව්වේ ඔන්න ඔහොමයි .
නාවලපිටියට බොහෝම ලඟින් තිබුන , වචනෙන් විස්තර කරන් බැරි තරමට ලස්සන ගමකලු මේ කළු කොල්ලා හිටියේ . මොණර කොල සිය ගනන් වියදන් කරගෙන , සීතලේ සැප ගන්න එන මහත්තුරුන්ට ඉරිසියාවේ පැලෙන්න හිතෙන තරමට ගමේ ගෙවුන මගේ ජීවිතේ ලස්සන වුනා.
                                    ඇස්දෙකත් බාගෙට පියාගෙන නින්දෙන්ම වගේ බිස්කට් පැකට් එකම කන්නේ, ආච්චි අම්මගේ ඇඟිල්ලකුත් දෙතුන් පාරක්ම හපන්න අමතක කරන්නේ නැතුවයි.  බොන ලිඳ ගාවට ගිහින්  තියෙන සීතල නිසාම හොරාට මූන කට හෝදන් හදන මාව අල්ලගෙන බලෙන්ම වගේ හොඳට සබන් ගාලා මුලු ඇඟම හෝදලා ලිප ගාවට එක්ක ගිහින් , ආච්චි අම්මාගේ අත්දෙක ලිපේ ගිනි රස්නෙන් රත් කරලා මගේ මූනේ තියන්නේ  හීතල අඩු කරන් හිතාගෙන. 
කරන්ට් එක තිබුනේ නැත්තං පොල්කටු අඟුරු ස්ත්‍රීක්කෙන් හරි කිසිම රැල්ලක් හිටින්නේ නැතිවෙන්න ඇඳුම මැදලා දෙනවා .
                                                        නිල්පාට කොට කලිසමයි ,සුදු පා‍ට අත්කොට කමිසෙයි, කලු සපත්තු දෙකට සුදු මේස් කෙකුත් දාගෙන බොකුටු කොන්ඩෙත් පිරගෙන බෑග් කට්ටයි  එල්ලගෙන, සීයා පප්පිගේ බයික් එකට නගින්නේ බොහෝම සීරුවට .ඒ වෙන මොනවත් නිසා නෙවෙයි , බයික් එකේ යකඩ කෑල්ලක් ඇගේ ගෑවුනොත් මහ හයියෙන්  කෑගැස්සෙන තරමට සීතල නිසයි..... 
එක කික් එකෙන් ස්ටාට් වෙන හොන්ඩා බයික් එකේ තෙල් ටැංකියට උඩින් තියපු කොට්ටේ උඩට වෙලා බෑග් එකත් තුරුල් කරන්  පප්පිගේ  බඩට මගේ පිට තියාගෙන තවත් තුරුල් වෙන්නේ ඇයි කියලා කියන්න ඔනේ නෑනේ . 
එතන ඉදන් පටන් ගන්න  ගමන , මීදුම පිරිලා ගියපු  කඳු මිටියාවත් තේවතු මැදින් ගිහින් සීතල අමතක වෙලා යන තරං ලස්සනට ඉර ‍එලිය /ගස් අතරින් ‍‍බේරිලා එනවිදිහත් දැක්කට පස්සේ තමයි ....... උඩහේන්තැන්න මද්‍යමහා විද්‍යාලයට එන්නේ ............
" මං යනවා පප්පී " 
" හ්ම් ........ අද දවල්ට එන්නේ මං " 
                                               පප්පි කොහොමත් වැඩි ‍කථා බහ නෑ .... ඒ උනාට මහාමෙරක් වගේ ආදරක් මගේ ගැන ඒ හිතේ තියෙනවා කියලා මං දන්නවා . ආච්චි අම්මට මොනතරං ආදරේ උනත් මං නිදාගත්තේ පප්පි ගාව , එයාටත් මං නැතුව නින්ද යන්නේ නෑ කියලා ආච්චි අම්මා අනන්තවත් , අනිත් ගමේ ගෑනු උන්දලා ගෙදරට ආවාම කියනවා මං අහගෙන.
            සම්පූරණ කන්දක් පුරාවටම ඉස්කෝලේ පැතිරිලා තියෙනවා .... කන්ද මුදුනටම වෙන්න කපපු ලස්සන තණකොල පිට්ටනියක් මැද්දට වෙන්න පිහිටලා තියෙන අපේ ඉස්කෝලේ ප්‍රාථමික අංශය තරං ලස්සන ප්‍රාථමිකයක් මේවෙනකන් මගේ ඇස් දෙකට අහුවෙලා නෑ ....... පිට්ටනියේ එක පැත්තකට වෙන්න මානා පදුරු  වලින් වැහිලා ගියපු  ෆයිනස් කැලයක් ..... බොහෝම සරුවට හැදුන මානා පදුරු ඉස්කෝලේ ප්‍රාථමියේ තිබුන එකම බිල්ඩිම එක පැත්තකින් වහගෙන තිබුනේ සුරංගනා කථාවල තියෙන විදිහේ ගෙයක් ඇස් ඉස්සරහාම බොහෝම අපුරුවට මවන ගමන්.
ෆයින් කැලේ මායිමට වෙන්න තිබුනේ දකින හැම වෙලාවකම  පරණ බලකොටුවක් මතක් කරන  ගරා වැඩිච්ච ගොඩනැගිල්ලක් .... කබොක් ගල් වලින් හදලා සමර ගාලා කාලයක් බොහෝම අපූරුවට තියෙන්න ඇති කියලා හිතන්න පුලුවන් ගොඩනැගිල්ලේ වහලේ  වගේම සමහර  බිත්තිත්  ගැලවිලා ගිහින් .
                         ගොඩනැගිල්ලත් එක්කම නියර දෙකේ පුරන් කුඹුරකුත්  ඒ මැද්දෙන් උදේ ඉර එලියට දිලිසි දිලිසී ගලාගෙන යන ගැඹුක් නැති දියපාරකුත් අපේ ඉස්කෝලේ එලිය වැඩි කලා .  
                               හැමදාමත් වගේ එදත් මං ඉස්කෝලේට ගියපු ගමන් දුවගෙන ගියේ ඔන්න ඔය කියන වතුර පාර ළඟට වෙලා රාස්ස කන්දට උඩින් ඉරපායන ලස්සන බලන්න මං එනකන් බලාගෙන ඉන්න තිසුරිව හොයාගෙන . අපි දෙන්න අතරේ තිබුනේ පුදුමාකාර බැදීමක් , එහෙම එකක් ඇතිවුනේ කොහොමද කියලා මං අදටත් දන්නේ නෑ . .......                     
                             හැමදාම  මං එන කං දිය පාර ගාව තිබුන ගල්පොත්ත උඩට වෙලා හිනා කට නැති උනහම මං දවස ගෙව්වේ නිකන් මැරිච්ච එකෙක් ගානට. 
                                       වෙනදා වගේම හිනා වෙච්ච කෙලි පැටික්කිව බලන්න හිතාගෙන ගල්පොත්ත උඩට දුවපු මට එදා දකින්න ලැබුනේ  මුලු ලෝකෙම කඩාගෙන වැටුනා කියලා හිතෙන තරමේ දෙයක් ....... සුදු ගවුම ඇදගෙන සුදු සපත්තු දෙකට සුදු මේස් දාගෙන කොණ්ඩේ කරල් දෙකට ගොතලා රතුපාට පීත්ත පටි දෙකකින බැදගෙන  ගල උඩට වෙලා අඩ අඩ හිටපු කෙලි පැටික්කියක් .
" ඇයි ........... ? ??? අනේ ඇයි අඬන්නේ කියන්නකෝ " මං හෙමීට හෙමීට ලඟට ගිහින් ඇහුවා .
" අර මානා පඳුර ........ ඊහීහීහීහීහීහී.......... "
" ඉතින් ? "
" ඒකෙ හිටපු මොකෙක්ද එකෙක් මගේ අත කෑවා ......මේ බලන්ටකෝ "  වෙරලු ගෙඩියක් වගෙ ඉදිමිච්ච තැනක් පෙන්න පෙන්න කෙල්ල අඩනවා.මටත් ඇ‍ඬෙන්න ගත්තා.
" යමුකෝ ගිහින් ටීචර්ට පෙන්නමු ........... " 
                             අත්වලින් අල්ලගෙන ටීචර් හොයන්න දෙන්නත් එක්ක දිව්වේ දෙන්නම අඬන ගමන්. අපේ ෆෙන්ඩ් ශිප් එක ගැන දන්න නිසාම ටීචරුත් මොනවත් කියන්න නැතුව හිනා වේගෙනම මොන මොනවද ජාතියක් අර ඉදිමිලා තිබුන අතේ ගෑවා .  
කෙල්ලගේ වේදනාව අඩු වුනාට මගේ වේදනාව අඩු වුනේ නෑ ....... මට දැන් මානා පඳුරු ටිකත් එක්ක මාර තරහයි .කොහොම හරි මේ ටික ඉවරයක් කරන්න ඔනේ!!
                                 ගෙදර ගියපු මං අනිත්දවසේ ‍ඉස්කෝලෙට ආවේ ආච්චි අම්මාගේ ලිප ගාව තිබුන පොල් ලෙලි දෙක තුනකට ලාම්පුතෙල් පොඟවගෙන බෑග් එකේ හොරෙන් ඔබාගෙනයි ........ගිනි පෙට්ටියෙන් ගිනි කූරු ගහන්න නොතේරෙන නිසා පප්පිගේ ලයිටරෙත් උස්සන්න අමතක කලේ නෑ.
වෙනදා ගල්වල ගාවට දුවන මං එදා පොල්ලෙලි මල්ලත් උස්සගෙන දිව්වේ ෆයිනස් කැලෑව කෙලවරට . එතනින් තමයි මානා කැලේ පටන් ඇරන් තිබුනේ ...... ආය කවදාවත් කාටවත් කරදර කරන්න බැරි වෙන්න කිලයා හිතාගෙන පොල්ලෙලිවලට ගිනි තියපු මං ඒ ටික මානා කැලේට විසිකලා .......
ආච්චි අම්මගේ ලිප වගේ සීරුවට ඇවිලිලා ඉවරවෙලි කියලා හිතපු මගේ අනුමානේ වැරදුනේ මටත් වඩා උස ගිනි දලු මවාගෙන මාන පිච්චෙන්න ගත්තහමයි........
පොඩ්ඩක් නෙවෙයි ‍හුඟක් බයවුනා ....... ගින්න පැතිරිලා යන්නේ ඉස්කෝලෝ ගොඩනැගිල්ල දිහාටයි ......
කෑගහගෙන පන්තියට ගියපු මං ,
" ටීචර් ......... අන්න කවුදෝ මානා කැලේට ගිනිතියලා ......" කියල  අඩන්න ගත්තා .මං එන්නේ නෑ කියලා හිතලා තනියෙන් ඉර පායනව බලපු  තිසුරි මානා කැලේ ගින්න නිසා එන්න බැරිව දිය පාර ගාව තනිවෙලා ....... 
පන්තියේ වහ‍ලෙත් ටිකක් විතර පිච්චෙනකන්ම ගින්න නිවන්න බැරි උනා .......අන්තිමට ඉස්කෝලේ ලොකු අයියලා අක්කලා එකතු වුනේ නැත්තං  ප්‍රාථමිකේ ආයෙත් මුල ඉදලා හදන්න වෙනවා . ගිනි තියපු එකා හොයන්නයි ආයෙ වහලෙ හදන්නයි අපිට දවස් 3ක් නිවාඩු දුන්නා ...... 
කවුරු නොදැන හිටියත් කැලේට ගිනි තිබ්බේ මං කියලා ටීචර්ට තේරුන නිසා වෙන්න ඇති ඉස්කෝලේ පටන් ගත්තදවසේ මගේ ගාවට ඇවිත් , 

" දැන් ඉතින් ඒ පඳුරු වලට  තිසුරිට මොනවත් කරන්න බෑ නේද ! " කියලා ඇහු‍වේ


එක වසරේ ගෙවපු ඒ සුන්දර ජීවිතයට වගේම ගමේ ජීවිතයටත් ආයුබෝවන් කියලා දෙකවසරට මං අම්මලා තාත්තලා එක්ක කොළඔ ඉස්කෝලෙට ගියාලු



 විශේෂ - මේ කොටස ලියන්නේ තිසුරි කියන අන්වර්ථ නාමයේන් මං හදුන්වපු ඒ ආදරනීය කෙල්ලට.................      අපි දෙන්නත් එක්ක අවුරුද්දක් පුරාවට ගතකරපු ඒ ලස්සන කාලේ එකම එක දවසක්වත් මේ අවුරුදු 15 ක කාලෙයක් වෙලත් මට කවදාවත් අමතක නෑ.............. ඔයාටත් එහෙම්ම වෙන්න ඇති , තාමත් ඉන්නේ මං එදා දැන අඳුරගත්තු කෙල්ල නං ඔයාට අමතක නෑ කියලා මං දන්නවා . කවද හරි දවසක මේ බ්ලොග් පෝස්ට් එක කියවන්න ලැබුනොත් අමතක  කරන්නේ නැතිව ඔයාගේ හරි නමින් කොමෙන්ට් එකක් දාන්න , තව එකපාරක් ඔය මූණ බලාගන්න ආසයි වගේ ....


ප.ලි - ඉස්කෝලෙට වැරදීමකින් හරි ගිනි තියපු කොල්ලෙක් ඩෝ.......... චාටර් නේ !!

Saturday, January 12, 2013

බඳුලු දුම්රියේ ..... පට්ටි පොල හටන ( විලක්කුව ලියන එකාට ජාන ලැබුන හැටි )






                                        නානු-ඔය ස්ටේශන් ‍එකේ ‍හයිකරලා තිබුන හෝරා යන්තරේ වෙලාව 5.30 උනා විතරයි . කොහොමත් කලියෙන් අඳුර වැටෙන කඳුකරේට එදා ටිකක් වැඩිපුර අඳුර වැටිලා තිබුනේ , නත්තල් සීතල් එක්ක , කොහේදෝ ඉඳලා පා වෙලා ඇවිත් තිබුනු වැහි වලාකුලක් නානු-ඔය නගරෙට උඩින් නැංගුරම් දාලා තිබුන නිසා වෙන්න ඇති .
                                              ලාවට ගලාගෙන එන අඩ අදුරත් එක්ක ස්ටේශන් එකේ ඉදන් , ඇඟ හිරිවැටිලා යන තරම් වෙච්ච සීතල, සිගරට් දුමෙන් පන්නලා දාන ගමන්  නයිට් මේල් එක එනකන් බලාගෙන හිටපු දෙන්නෙක් බොහෝම බර කථාවක .
                               ස්ටේශන් එක වටේට  හැම තැනම කරග්ගහන අයාලේ යන බල්ලොන්ට සයනයිට් උලකින් අනින කොල්ලා තාමත් වැඩ . සයනයිට් එන්නත කාගෙන කෑගහගෙන ගියපු බැල්ලක් ස්ටේශන් එකට එහායින් තියෙන ලන්දේ දිරලා යමින් තිබුන කෝච්චි පෙට්ටියක් අස්සේ  හිටපු තමන්ගේ පැටවුන්ට කිරි දෙන්න පටන් ගත්තා . තවත් විනාඩි ගානක් ඇතුලත තමන්ගේ අම්මා මැරෙන බවට හාංකවිසියක්වත් දන්නේ නැති පැටව් පස්දෙනෙක් පොරකාගෙන ඇවිත් තන පුඩුවට කට ති‍යාගෙන කිරි බීගෙන බීගෙන යන්න ගත්ත . ඒ පැටවුන්ට ලැබෙන අවසන් කිරි වේල නේද මේ.ස්ටේශන් එකේ හිටපු දෙන්නටම පුදුම තරං දුකක් ඇති උනා ..... 

" මොනව කරන්නද මහත්තයා ..... එකිට පැටව් ඉන්න බව දන්නව නම් මං අත ඇරලා දානවා .... ශික් මේක මහ පවුකාර රස්සාවක් "
                               
                                 එහෙම කියාගෙනම එන්නත් කාරයා අර දෙන්නා ඉස්සරහින් පාරට බැස්සේ පැය ගානක් තිස්සේ තේ උගුරක් ලැබුනේ  නැති උගුර කට පිනවන්න හිතාගෙනයි .
කඳු ගානක් නැගගෙන හති දාගෙන ආපු කෝච්චිය නානු ඔයට එනකොට වෙලාව හවස 6 ට විතර තියෙන්න ඇති . 
 නානු ඔය ස්ටේශන් එකෙන් කෝච්චියට නැග්ගේ මෙච්චර වෙලා සිගරට් දුමෙන් වැහිලා හිටපු කොල්ලෝ දෙන්නා විතරයි.  මනුස්ස පුලුටක් ගැන සළකුනක්වත් නැති වෙන තරමට ස්ටේශන් එක පාළුවට යවමින් කෝච්චිය යන්න පටන් ගත්තා ........ ඈතින් පේන කඳු අස්සෙන් හොරන් හොරෙන් එබිකම් කරන ඉර දිහා බලාගෙන , තමන්ගෙම මනෝ ලෝකේ හිටපු දෙන්නාගෙ දැහුන බිඳුනේ ටිකට් පරීක්ශක තුමාගේ කට හඩත් එක්කයි . 

" ටිකට් ගන්න මහත්තයා .... "
දෙන්ගෙන් එක්කෙනෙක් ඔළුව උස්සලා බැලුවා ....
" දෙයියනේ ........ මේ අපේ සි‍රිමෙවන් මහත්තයානේ ..... මොන ටිකට්ද.. බොහොම සන්තෝසයි සර් දකින් හම්බවෙච්ච එක "
" ආහ් .......... අද නයිට් ශිෆ්ට් එක ලෙස්ටර්ද !! හොඳයි හොඳයි ..... ලෙස්ටර් ... මේ ඉන්නේ මගේ මල්ලි .... අහවල් රස්සාව තමයි කරන්නේ" 
" මෙච්චර කල් අහලා තිබුනට දැක්කේ අදනේ ........... දෙන්නත් එක්ක ‍ගම්පොලින් බැහැලා යන්නෙ පරිස්සමෙන් ... දන්නවනේ මේ කාලෙ හැටි ....  හමුදාවෙ උන්ට රෑ පානේ පාරේ යන උන්ව පේන්න බෑ .... ටයර් ගොඩකින් තමයි ඉවර වෙන්නේ .... පේනවනේ කෝච්චියත් , බලු බල්ලෙක් නෑ , මුලු කෝච්චියේම විසි පහක් ඇති වැඩිම උනොත් "
      කිසිම කථාවක් ‍නොකරපු අයියා මලෝ දෙන්නා හිනා උනා විතරයි .
" මං එහෙනං යන්නං මහත්තයෝ ........... "
" හොඳයි ලෙස්ටර් "
අයෙත් පාරක් අයියා මලෝ දෙන්නා කෝච්චි පෙට්ටියේ තනි උනා .

" ස්ටේශන් මාස්ටර් වෙන එකත් එක විදිහකට බැලුවාම හෙන ලාබ වැඩක් නේද අයියේ ...... කෝච්චියෙ නිකන් යන්න පුලුවන්නේ "
" ඒ වගේම වගකීමක් .......... "
" ඇත්ත "
" අපේ රටට අද මෙහෙම වෙලා තියෙන්නෙ අපේ මිනිස්සු වරප්‍රසාද බුක්ති විඳලා යුතුකම් අමතක කරන නිසයි. අපේ සහෝදරවරු සටන් කරන්නෙත් ඒ වෙනුවෙන් කියලා මල්ලි දන්නවනේ "
" හ්ම් ......  ඒ උනාට අපිට මේක දිනන්න බැරිවෙයි "
" කමක් නෑ ...... අපිට පුලුවන් වෙයි අමකන වෙ‍න්නේ නැති සලකුනක් තියන්න .... සමහරුන්ට ඒක කළු පැල්ලමක් විදිහට පෙනෙයි , ඒත් ඇත්ත වැටහෙන රට ගැන හිතන උනුත් ඉදීනේ "
                       දෙන්නගේ කථාව බොහෝම බරට නැගලා යනවා. කෑලිකැපෙන අන්දකාරය අස්සෙන් බොහෝම අමාරුවෙන් වගේ , පින්නට ලිස්සන රේල් පීලි , සිල්පර කොටන්උඩින් කෝච්චිය පට්ටිපොලට එනකොට වෙලාව 8 විතර වෙලා ඇති . 
                        මෙච්චර‍ වෙලා කෝච්චිය ඇතුලේ තිබුන නිහඩ බව නැති උනා ........ කොහෙන්දෝ කඩාගෙන පාත්වෙච්ච කොල්ලෝ කාණ්ඩයක් හතරගාතෙන් ගොඩ උනේ අයියා මලෝ දෙන්නා හිටපු පෙට්ටියටයි ....
       
" අප්පට සිරි මුං හොඳටම බීලා නේද "
" නොදකින් විතරක් ......... බිව්වට කමක් නෑ ගෙදර යන්න පුලුවන් තරමට බොන්න දැනගන්න ඔනේ ."
                   බේබදු කාණ්ඩේ දැන් පෙට්ටිය ඇතුලෙ හෙන පෙරලියක් කරනවා ...... එකෙක් මුල්ලකට වෙලා හෙනම ආතල් එකේ කබා දානවා , දෙතුන් දෙනෙක් මහා හයියෙන් කුණු හරප සින්දු කියනවා ..... අනිත් උන් තැන් තැන් වල ඉදන් ආන්ඩුවට බනිනවා .
                                   සැරටම ගේම නැගලා යන අල්ල පනල්ලේ තමයි ඒ කෝච්චි පෙට්ටියටම ටිකක් විතර ඇහැට කණට පේන ලමිස්සියෝ දෙන්නෙකුත් ගොඩ උනේ . 
කොල්ලොන්ගේ ආතල් එක සම්පුරණයෙන්ම වෙනස් උනා..... දැන් කට්ටි කථා වෙන්නේ කෙල්ලො දෙන්නා ගැන.
" මචං අපි මේක හෙන රොමැන්ට්ක පොට් එකක් කරන්න ඔනේ ‍ "
" කොහොමද !!! "
" ගිනි ගොඩක් ගහමුද "  කොහෙදෝ හිටපු එකෙක්ගේ අදහසක් ආවා .
" අන්න වැඩේ  ..... ඉඳහංකෝ මං සීට් එකක් ගලවලා ගන්නම් .ආණ්‍ඩුවෙන් ආයෙත් හයි කරයිනේ බං  " ඌ සීට් එක ගලවන්නයි ට්‍රයි එක .
" බල්බ් එක තිබ්බහම කරදරයි බං ..... අපි මේක අඳුරු කරන්න ඔනේ " තව එකෙක් බල්බ් එක ගලවන්න ට්‍රයි . 
                   මේ අස්සේ කෙල්ලෝ දෙන්නා බයවෙලා නහුතෙට උන්ට වෙන පෙට්ටියකට නන්නත් නෑ , අරුන්ටික පෙට්ටියේ දොරවල්‍ දෙකටම මුර දාලා .  අයි‍ය මලෝ දෙන්න පාඩුවේ හිටියට ආයෙ නං බෑ වගේ ...... වැඩියෙන්ම මල පැනලා හිටියේ මල්ලිට. 
" අයියෙ ........... ගහමුද ? "
" ටිකක් බලමුකෝ " 
ටික දුරක් ගියත් මුංගේ වැඩ වල වෙනසක් නෑ ... එක කෙල්ලෙක් අඩනවත් එක්ක. 
" අයියට බැරිනං ඉදගෙන ඉන්නඑකයි ඇත්තේ "
                                    එහෙම කියාගෙන නැගිටපු කොල්ලා තමන්ගෙ ළඟම හිටපු එකාව ඇදලා ඇරන් අතමිට මොලවලා නහට මැද්දටම  ඇදලා ඇරියා . මල්ලි ගේමක ඉද්දි අහක බලන අයියාකෙනෙක් පොල් පිත්තකින් කපා ගන්න බැරියැ ... එහෙම හිතපු අයියත් නැගිට්ටා .... කොල්ලෝ දෙන්නම පොඩිකාලේ ඉදන් ඉගන ගත්තු මාශල් ආට් එලියට එන්න  වැඩි වෙලා ගියේ නෑ ..... 
                                    අනිත් උන්ගේ සේනාව වැඩි උනාට වැඩක් නෑ . උන් සේරම බීලා .... එක පාරෙන්ම බිම ...... කොල්ලෝ දෙන්නාගේ පා පරහවල් දරා ගන්න බැරිවුන ‍කා‍ඩ් බෝඩ් විරයෝ ටික වැටුන වැටුන තැන්වල නිදි ......... 
                       වලිය යනවෙලාවේ  කෙල්ලෝ දෙන්නත් මේ දෙන්නට  චියර් එකෙන්  හෙන සප් එකක් දුන්නා .
                                  කෝච්චියේ හිටපු ගාඩ්ලා ටික මොකක්ද කලබලේ කියලා බලන්න එනකොට සේරම ඉවරයි ..... වැරදි කාරයෝ දෝයි ..                          

                              නාවලපිටියට කෝච්චිය එ‍නකොට වැරදි කාරයෝ භාර දෙන්න පොලිසියෙන් හොයන්න යන්න ගියත් මල්ලිගේ ඉල්ලීම මත ඒ වැඩේ වැලකුනා........
                                         බදුල්ල දුම්රියේ පට්ටිපොල හටන ඉවරකරපු  අයියා මලෝ දෙන්නා ගම්පොලින් පාරට බැස්සේ  මඟදි හමුදාවෙන් හම්බ නොවේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි .





ප.ලි - හැමෝම අහනව ඇයි මටම  එක එක විදිහේ  අමුතු ආතල්  සෙට් වෙන්නේ කියලා . ඉතින් මමත් පොඩ්ඩක් හොයලා බැලුවා ඇයි කියලා ..උත්තරේ හම්බ උනා !                 
                          දෙයියනේ !! ......... මේක ජාන වලින් එක එකක්....... ඔය උඩ තියෙන කථාවේ මල්ලි කියන්නේ අපේ තාත්තා ..... දැන් හිතා ගන්ඩලාකෝ ....... ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා . අපේ තාත්තා රස කථා ‍ගොඩක් කිව්වා , ඒ කථා මට වෙලා තියෙන ඒවට වඩා හෙන ඇඩ්වාන්ස් .......
 අන්තිම නිගමනය තමයි මට මෙහෙම වෙන්නේ ජාන වලින් ලැබුන දෙයක් නිසා.  

 

Sample text

Sample Text

Sample Text