Social Icons

හොයමු බලමු

Saturday, July 7, 2012

තොවිලය 01 ( ආවඩන්නට පෙර............. )




"අප්පේ ......... ඇති යන්තං දැං ඉතිං ටික කාළයක් නිදහසේ ඉන්න පුළුවං........." ඉස්කෝලෙ යන කාලේ වාර අවසාන විභාග ‍එහෙම තියල නිවාඩු දෙන දවස ආවහම ම‍ට නම් හැමදාම හිතෙන්නෙ ඔහොමයි . 11 වසරට ආව කියල එහෙම හිතන එක වෙනස් වුනේ නෑ , ඔව් ඔව් මම කියන්න යන්නේ ඕ ලෙවෙල් කරන කාලේ අවුරුදු නිවාඩුවේදි  වුන දෙයක් තමයි.
මේ සිද්දිය වෙලා අවුරැදු 4ක් විතර වුනත් උදේ පාන්දර ඉදං මුළු වටපිටාවම දියබත් කරකර එකම විදිහට වැහැපු ඒ මූසල දවස මට ජීවිතේට අමතක වෙන එකක් නෑ, හවස 3 විතර වෙනකොට වැස්ස තුරල්වෙලා ගියාට මීදුමේ අඩුවක් තිබුනෙ නෑ.මේ තරම් ගන සැරේට මීදුම ,මතක ඇති කාලෙක තිබුනෙ නෑකියල තමයි ආච්චි අම්ම කිව්වෙ,,,එතකොට වෙලාව 4ට විතර ඇති හැබැයි මුලු පරිසරයම වෙනස් වෙලා තිබුනා ඉර එලිය කියල නාමයක් නෑ. මහ අදුරුයි, අපේ ගම සෑහෙන්න පිටිසරයි, උදේ 7ට යි හවස 6ටයි විතරයි බස් එකක් ආවෙ ගියෙ, ඔය බස්දෙක මග ඇරුනොත් ටවුන් එකට යන්න වෙන්නෙ තුන් සක රියක තමයි.පයිං ගියොත් කිලෝමීටර 30ක්. ඒ නිසා අපේ ගමේ වාහනයක සද්දයක් ඇහෙන්නෙත් ටිකක් අඩුවෙන්.


 හවස් වරුව පුදුම විදිහ‍ට නිහඩයි අම්ම  ,ආච්චි අම්මත් එක්ක කුස්සියේ කථා කරනව ලාවට ඇහෙනවා, කොළඹ ජීවිතේට පුරුදුවෙලා ඉන්න ම‍ට ගමේදි දරාගන්න අමාරුම දේ තමයි ඒ ගුප්ත නිහැඩියාව, කණ් දෙක කීං ගානව,ටීවි එක බලන්නත් නෑ ලයිට් ගිහිල්ලා .මුළු ගෙදරම වැඩ කලේ කුප්පිලාම්පු එලියෙන් . හාන්සිපුටුව‍ට වෙලා මනෝ පාරක් ගහගෙන හිටපු ම‍ට ටිකක් ගෙයින් එළියට බහින්න හිතුනේ වට පිටාව ඔන්න ඔහොම තියෙන වෙලාවකයි. හිමින් හිමින් දොර ගාවට ගිහිං, වැස්ස හින්ද උදේ ඉදං වහපු ගමන්ම තිබුන දොර ඇරියා!!!
සම්පුරනයෙන්ම දොර අරින්න වුනේ නෑ එළියෙ ඉදං මොකක් ද මන්ද සීතල දෙයක් මගේ කකුල් දෙකේ වැදීගෙනම ගේ ඇතුලට ඇදිල ගියා.........දඩාං..... ගාලා දොර වහගෙනම,  මම පිටිපස්සට පැන්න නෙවෙයි පැන්නුනා මර  ,සීතලේ මට දාඩියත් දාලා. එතකොට තමයි දැක්කෙ ගෙට පැනපු හොල්මන නගුටත් වන වනා මගේ දිහා බලාගෙන ඉන්නවා. මේ බිංකියනෙ ඊයෙ රෑ ඉදං මූ අතුරුදහන් වෙලා හිටියෙ ( ඌ එහෙම තමයි හිටපු ගමන් අතුරුදහන් වෙනව ) මෙන්න ආයෙ ඇවිල්ල .


" පුතා පුතා මොකද වුනේ ?? " අම්ම කුස්සියේ ඉදං කෑගහනව !!
" මොකුත් නැතෝ " ගෙදර ඉන්න බල්ලට බය වුනා කියල රෙද්දක් ඇදගෙන කියන්ට පුළුවනෑ.
" මොකද නැත්තෙ , මේක බල්ලට බය වුනානොවැ " අනිත් හාන්සිපුටුවෙ දිගඇදිල උන්නු අපේ ‍සීය වැඩේ කෑව.කුස්සියේ හිටපු ඈයො හිනා වෙනව , වෑඩියෙන්ම සද්දෙට ඇහෙන්නෙ නංගිගෙ කට !!!!!! මේකිට ටොක්කක් අනින්ට ඇත්තං , ඒත් කුස්සියට යන්න කම්මැලී.


හිතේ තිබ්බ භය ටිකක් අඩුවුන නිසා , සිරි නරඹන්න හිතාගෙන මම ‍‍ආපහු දොර ඇරිය . මොන සිරිද අඩි දෙකකට වඩා ඈත පේන්නෙ නෑ , මීදුම. මොන මගුලක්ද ආපහු ඇතුලට ගියපු මම ඇදට පැන්න, සීතළ  හින්දමද කොහෙද ටක්‍ ‍ගාලා නින්ද ගියා.මම හිතන්නෙ පැය දෙකක් විතර නිදාගන්න ඇති.
" ඇති යන්ත‍ං " මට එහෙම කියවුනේ ආපහු නැගිටිනකොට ලයිට් ඇවිල්ල තියනව දැක්කහමයි . කට්ටිය සාලෙ ටීවී බලනව ඇහෙනව , මමත් ඒ පැත්තට යන්න හිතල ඇදෙන් බැස්ස................


හූ........................................................................................................................................


එතකොටම තමයි ඇගේ ලේ වතුර වෙලා යන විදිහට ගෑණු කෙනෙක් යටිගිරියෙන් බෙරිහන් දෙන්න පටං ගත්තෙ,........ඉක්මනට සාලෙ පැත්තට දුවල ආව ....කණ් දෙකම හූ සද්දෙන් පිරිල නැවතිල්ලක් නෑ ,කාටද යකෝ මෙච්චර වෙලා හුස්ම අල්ලගෙන කෑ ගහන්න පුළුවං . ගෙදර හැමෝම බයවෙලා ,ලේසියකට හෙලවෙන්නෙ නැති ‍අපේ සීයගෙ මූණත් වෙනස් වෙලා.ඇයි යකෝ ගේ ඇතුලෙන් ගෑනියෙක් බෙල්ල මිරිකනකොට කෑගහනව වගේ සද්දයක් එනකොට මොකාටද බය නොහිතෙන්නෙ.    
තත්පර දෙක තුනකට සද්දෙ නැවතුනා ආයෙත් පටං ගත්තා, එතකොට තමයි කට්ටියට මීටර් වුනේ සද්දෙ ඇහෙන්නෙ අපේ ගෙදරට උඩහින් තියෙන සමාධි අක්කලාගේ ගෙදරින් කියල.


" සුමනලාගේ දිහායින් නේද ?? " ආච්චි අම්මා ඇහුවා.
" ඉදිංකො මං බලල එන්න මොකක්ද වින්නැහිය කියල " කියාගෙනම සීයා එලියට බැස්සෙ ටොච් එක විතරක් අරගෙන කමිසයක් වත් අදින්ට පරක්කු වුනේ නෑ .( සරමක් ඇදගෙන හිටිය හොදේ !!!! ) මමත් යන්න හැදුවට අම්මගේ විරෝධය හමු‍වේ පසුබහින්ට වුනා .මක්කොරන්ටද ඉතිං මමත් දොරකඩට වෙලා බලාන උන්නා ...............


" සමාධි කෙළීට දිස්ටියක් ආරූඩ වෙලා කියන්නෙ ............... නටනව ‍ගේ දෙක වෙන්න ආං " සීය ගෙට ගොඩ වුනේ එහෙම නියාගෙනයි.
" හැබෑට "
" හ්ම් .......... තාත්ත ඇවි‍‍දිං තෙල් ඩිංගක් මැතිරුව ඕං දැන්නං ඩිංගක් ගුනයි ඒත් ශාන්තිකරමයක් කරන්න වෙයිලු , "
" ‍හපොයි .......... යස අගේට උන්නු කෙල්ල " ආච්චි අම්ම එහෙම කිවිවෙ ලොකු හුස්මක්  පහත දාන ගමං .
" නුවන් පුතා කියව්වෙ හෙට පාන්දරම කට්ටඩියෙක්ව හොයන්න යනව කියල " 


අම්මට සිරි තොවිලයක්!!!!!! එල ...........................................




කථාව ටිකක් දිගයි ඒ නිසා කොටස් දෙකකට තමයි දෙන්න වෙන්නෙ !!! තරහ නෑනෙ !!!!


තොවිලයක් කියන්නෙ ටිකක් සීරියස් දෙයක් ඒ වගේ දෙයක් ෆන් සාගරයක් වෙච්චි හැටි ඊළග ලිපි‍යෙන් බලන්නකෝ!!!!!!!!!!!!!!!!!!!!

Thursday, July 5, 2012

සුදු රෝස පොහොට්ටුව ....................



දෑස පින්බරයි මගෙ.........
ඔබේ රුව දකින්නට 
සමරු පොත ඉඩ මදිය.......... 
ඔබෙ සුවද පවසන්න 
සොදුරු ඔය රුව සුවද 
මගෙම කරගන්න........ මම!!!! 
පින් කරල මදිවාද!  කදුලක්ම ලබන්න. 







ඉරි තැළුනු කතර බිම..... 
සනසවයි වලාගැබ 
දුක පිරුන  මගෙ නෙතට........
සිහිලසයි සොදුරැ නුඹ 


නිල් මැණික් තරු යුගල........ 
මගෙම කර සිඹින්නට 
සුදු රෝස පොහොට්ටුව........... 
මගෙ පපුවෙ සතපන්න 
ලා රෝස පෙති යුගල........ 
‍මගෙ නලල මත දුවන 
මම දකින ඒ දිනය සිහිනයක් විතරමද !!!!!!!!!!!!!!!                   

Wednesday, July 4, 2012

බස් නැවතුම සහ මම






හා හාපුරා කියල බ්ලොග් එකක් පටන් ගන්නව කියල මගේ පළවෙනි පොස්ටුව කොටල අදට දවස් 5යි. ඉතිං ‍ඒක බලපු ,නොබලපු හැමෝටමයි,, විශේෂයෙන්ම මගේ පලවෙනි පොස්ට් එක‍ට ,මුලින්ම  කමෙන්ට් කරපු අභීත අයියටයි නිෂ් , අඩවි රජ දෙන්නටත් ස්තූති කරන ගමන්ම දෙවැනි එක පටං ගන්නයි යන්නෙ ඔං 


----------------------------------------------------------------------------------------------------------------------------------


කස්ටියටම ටිකක් විතර හිනා වෙන්න පුලුවං කථාවකින් වැඩ විලක්කුව  පත්තු කරන්න ඕනෙ කියල හිතාගෙන ඉන්නකොට අද වෙච්ච වැඩක් නිසා කථාව ටිකක් වෙනස් කරන්න ඕනෙ කියල මගේ ඔලුව අස්සෙ ඉදං මොකෙක්ද එකෙක් කෑගහනවා.. අන්තිමේදි කීබෝඩ් එක ලගදි මම ඌ‍ට යටත් වුනා.


""""""""""මේ හැමදේම වෙනස් වුනේ අද උදේ පොඩි වැ‍ඩකට බම්බ පැත්තෙ ගිහින් (වැ‍ඩේ මොකක් ද කියල  වෙන කථාවකින් කියන්නම්කෝ)  ආපහු 155 බස් එකට නැග්ගහම. බම්බපිටිය කිව්වට මම බස්එකට නැග්ගෙ අර සෙම්න් පොඩ්ඩක් මි@$$ බාලිකාව ලගින් :)). . ඔන්න ඉතිං බස්එකට ඉස්සරහ දොරින් නැංගා,  ඉතිං මලවදේ හැම එකාම මගෙ දිහා බලනව , ( කොහොමත් ඉතිං ලංකාවෙ පාරක ඔටුවෙක් යනකොට කොහෙමත් බැලෙනවනෙ ) මමත් සපත්තු දෙක ‍දිහා බලාගෙන පඩි ටික නැගලා එහෙම්මම ගිහිල්ල සීට් දෙකක් අල්ලගෙන උඩ බලාත්ත.. කොන්දා තවමත් එලියෙ කෑගහනවා, මූ මොකාට කෑගහනවද මන්ද !!!හොල්ට් එකේ මෙලෝ මල යකෙක් නෑ. කල්පනා ලෝකෙ ඉන්න ගමන් රෙඩාර් එකට වැටෙන බෝනික්කියෝ ඉන්නවද කියල බලන්නත් අමතක කලේ නෑ . මුළු බස් එකටම හිටගෙන හිටියෙ මමයි තව දෙතුක් දෙනෙකුයි විතරයි ,ඒ නිසා දර්ශන පථය  පැහැදිලී ..... ඒත් ශික් ,ඇහැට කනට පේන එක කෙල්ලෙක් හිටියෙ නෑනෙ...... ( තුක් විතරක් )  ඇතියන්තං බස් එක යනව  !!
         
" දිනෙල්ක!! ඔයා... දිනෙල්ක නේද ??" හත් ඉලව්වයි මේන් බොලේ ජීවිතේ‍ට දැකල නැති කෙල්ලෙක් මට කථා කරනවා.  මම ආයෙත් බැලුවා, හොදට බැලුවා,  ඔව් ඔව් ජීවිතේ‍ට දැකල නැති කෙල්ලෙක් තමයි, දැං මොකද කරන්නෙ !!ඇයි අහනවද ඔව් කියනවද !!!

" ඔව් "

 "මාව මතක නැත්ද ? මම නිලූශා "
  නිලූශා .......නිලූශා .......නිලූශා ....කව්ද බොලේ නිලූශා!!!!!!  හුටා...  නිලූශා,,, කෙල්ල කව්ද කියල මතක් වුනා විතරයි මට නිකං කලන්තෙ වගේ.. වෙලාවට කෙල්ලත් එක්ක හිටපු හිටපු ආච්චි නැගිටලා ගියා මමත් දනි පනි ගාලා එතනින් වාඩිවුනා.
" දැං මතකද ?? "කෙල්ල මගෙත් එක්ක හිනාවුනා

...........................
" තරහද ?? "අවුරැදු 15 කට පස්සෙ හම්‍බ වුන ‍කෙල්ලෙක් එක්ක මම කථා කරන්න ප‍ටන් ගත්තෙ ඒහෙමයි.  

" ඒ මොකට ද තරහ වෙන්නෙ " 
" හැම දේටම" කියල කියන්න ඕනෙ වුනත් මගෙ කටට ඒක කියන්න පන ආවෙ නෑ !!!


*********************************************************************
 " මමත් එන්නද අල්ලන සෙල්ලම් කරන්න " 
 " අපෝ දිනෙල්ක ,  නිලූශා එනවනම් මම එන්නෑ "
 " මමත් නෑ "  
 " අප්පිරියයි අ‍නේ එයාව ගන්නව නම් මමත් එන්නෑ "
 " ඔයාව ගන්නෑ යනව යන්න........ කරදර නොකර "  


ඔව්,, ඒකාලේ  ඉස්කෝලෙ ගියපු හැමදාම වගේ ඉන්ටවල් එකට  අපි පන්තියම  නිලූශාව කොන් කලේ එහෙමයි ඉන්ටවල් එකට  විතරක් නොවයි ඉඩලැබුනු හැම වෙලාවකම අපි ඒක කළා, පව් පොඩි කෙල්ලට කොච්චර දුක හිතෙන්නඇද්ද, අපිට ඉතිං ඒකාලෙ ඕව තේරුනේ නෑනෙ !!!!!! ,, ඔව් ඔව් ඒ මීට අවුරුදු 15කට කලින්, මම 1 වසරෙ ඉන්න කාලේ,  ........ ගමේ ඉස්කෝලෙ තිබුනෙ, ගම්පොල නාවලපිටිය පරණ පාරෙ නාවලපිටියට කිට්ටු වෙන්න. ටිකක් විතර ලොකුයි ( මධ්‍ය මහා විද්ද්‍යාලයක්නෙ ) සම්පූර්ණ කන්දක්ම පිරෙන්න ඉස්කෝලෙ    ........ ගොඩක් ළමයි ආවෙ පිලිවලක‍ට ඇදගෙන ලස්සනට ඔලුව එහෙම පීරගෙන, ඉතිං ඔය අතරේ, කහ ගැහිල පොඩිවෙච්ච ගව්මක් ඇදගෙන ‍ගෙන සෙරෙප්පු දෙකක් දාගෙන ආපු  නිලූශා , බහුතරය අතරින් හිරිකිත විදිහ‍ට කැපිල පේන එක අහන්නත් දෙයක්ද !! 


මම දැනං හිටපු විදිහට නිලූශා‍ හිටියෙ තාත්තයි මල්ලී එක්ක මල්ලි ඉපදෙන කොට අම්ම නැතිවෙලාලු ඉන්න හරියට ගෙයක් වත් තිබුනෙ නෑ. ඉස්කෝලෙ ලග තිබ්බ පරන  බස් නැවතුමක් තමයි ගෙදර වෙලා තිබුනේ. සංගනනෙදි ඒකට අංකෙකුත් දීල තිබුන නිසා ලිපිනයක් නම් තිබුනද කොහෙද!  . තාත්ත කලේ කුලීවැඩලු,, 1 වසරෙනේ ඔච්චරයි දැනං හිටියේ .


මම නම් කවදාවත් නිලූශව කොන් කලේ නෑ කියල බොරු ලියන්න මම කැමතිනෑ, සමහර වෙලාවට මම තමයි බයිට් එක ලීඩ් කලේ ( දැන්නම් මම මේ වගේ නෑ හොදේ ) . එහෙව් කෙල්ල ,මොනව කිව්වත් හැම  ඉන්ටවල් එකේම ‍වගේ " මමත් එන්නද  සෙල්ලම් කරන්න "  කියල අහනවා ,හැමදාම හම්බවුනේ එකම උත්තරේ . මම ඒ ඉස්කෝලෙට  ගියෙ එක අවුරුද්දයි,(තාත්තගේ සේවා මාරැ වීමක් එක්ක අපි කොළඹ ආවා ) ඒ අවුරුද්දේ කිසිම දවසක  නිලූශා සෙල්ලම් කලේ නෑ කියල ම‍ට හොද‍ට මතකයි, වැරදුනා අපි  කිසිම දවසක  නිලූශාව සෙල්ලමට ගත්තෙ නෑ. 


**********
" මොකටද මම තරහ වෙන්නෙ " කෙල්ල දෙවනි පාරටත් ඇහුව්වා, මම ආපහු බස් එක‍ට ආවෙ එතකො‍ට . ඒත් මට දෙන්න උත්තරයක් තිබුනෙ නෑ 
" කොළඹ මොනවද කරන්නේ ? " ශේප් එකේ කථාව වෙන පැත්තකට හරවන්න try  කළා
" මම දැං  @$$%%$$$$ කැම්පස් ‍එකේනෙ " 
කෙල්ලගේ ඇස් දිලිසෙනවා .

ඒක ඇහුවාම ම‍ට අඩන්න හිතුනා ( සතුටට නම් නෙවෙයි ), අන්ත දුප්පත් පවුල් වල ළමයි ඉගෙනගෙන ජීවිතේ දිනන්නේ කථා පොත්වල විතරයි කියලයි මම හිතාන උන්නෙ.
"‍ මරුනෙ හොස්ටල්ද ඉන්නෙ ? "
" ඔව් ඔයා මොනවද කරන්නෙ,  කැම්පස් ‍ තේරුනානේද ?? දිනෙල්ක ඉතිං ඒ දවස් වල ඉදන්ම දක්ෂයිනෙ "
හුටා දැන්නම් ඇඩෙන්න ඔන්න මෙන්න .,උ / පේ පාස් උනාට මාව කැම්පස් ‍ තේරුන්නෑ ,කෙල්ල මාව පරද්දලා ,.........
" අනේ නෑ ,මම **** ‍එකේ  කොම්පියුටර ඉන්ජිනියරිං කරනවා " 
" අනේ ..... අපරාදේ  කමක් නෑ ඔය කොස් එකත් හොදයිනෙ ......" 
" හ්ම් " කියනවා ඇරෙන්න මට වෙන කියන්න දෙයක් තිබුනෙ නෑ 
" අනේ  දිනෙල්ක මම ඉස්සරහින් ‍බහිනවා මට ඔයා ගේ නම්බරේ දෙන්නකෝ පස්සෙ කථා කරමු " 
මමත් ඔන්න ඔහේ ඕන එකක් කියලා නම්බරේ ලියන්න ගත්තා  එතකොට තමයි දැක්කෙ කෙල්ලටත් පොඩි  ෆෝන්  කෑල්ලක් තියෙනවා කියලා 
 " එහෙනං මම යන්නං  " 
නොදකින් නොදකින් නොදෝමකින් මේ කාළකන්නි බස්කාරයා ආයෙමත් ඔහේ ඉන්නවා යන්නෙ නැතුව.....  බස්කාරයාට පිං සිද්දවෙන්න,  බස් එකෙන් බැහැපු නිලූශා, ඒකි එනකං මග බලං උන්නු කොල්ලෙකුගේ අතිං අල්ලාගෙන  කැම්පස් එක පැත්තට නැලවි නැලවි යන හැ‍ටි මට බලං ඉන්න උනා . ඉතිං මං පරාදයි !!!!
  
මගේ අතිං ඒකාලේ වෙච්ච දේවල් වලට සාධාරනයක් කරන්න හිතාගෙන තමයි මේක ලිව්වේ . කවද හරි දවසක නිලූශා ‍වැරදීමකින් හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මගේ සමාව පළිගනීවි ( එහෙම වෙයිද ?? ) 


( නිලූශා යනු ඇගේ නියම නම නොවේ )



Friday, June 29, 2012

ජයසක් මැද විලක්කුව දල්වන්නට අවසර !!!!!!!!!

 එකතු වෙලා ඉන්න, එකතු වෙන්න ඉන්න හැමෝටම ආයු‍බෝවන් !!!!


ඔන්න ඉතිං බ්ලොග් අවකාසෙට අළුතින්ම එකතුවෙන අන්ත අසරන වෙච්ච ,අහිංසක    ( ඒක නම් ශුවර් නෑ ) අමුතු පිස්සු කොල්ලෙක්‍ ලියන, ජීවත් වුන අව්රැදු 20 පුරාව‍ටම මුහුණ දෙන්න වෙච්ච අහන්න දකින්න හම්බවුන හැමදේම ((ටිකක් විතර තුනපහ දාලා .......හිකිස්.......)) ලියවෙන තැනක් වේවි විලක්කුව .

හිතට පොඩි අමුත්තකුත් දැනෙනවා ,, මගෙ හිතේ මේක  මං හා හා පුරා කියල පටංගන්න පලවෙනි ‍බ්ලොග් එක නිසාවෙන්න ඇති.මම මේ දන්න කියන අයගෙන් අහන්නෙ,, පස්සෙ වෙනකොට මේ ගතිය ඇරිල යයි නේද ? . මීට කලිං ලියල නෑ තමයි හැබැයි අම්බානක කියවලා තිබුන ((ඒවට කොමෙන්‍ට් කලේ නම දාන්නනෙ නැතුවය හොදේ))   ඉතිං ඔහොම මාස හය හතක් යනකොට මම මගේ ජීවිතේ කියවපු හොදම බ්ලොග් එක සෙට් වුනා,, ඒ තමයි අපේ සදරැ ලියන හිස් අහස  ඒක  කොයි තරම් වැදුනද කියනවනම් ඔන්න මම අද අපේ සදරැ අයියව ගුරැ තනතුරේ තියලා  විලක්කුව පත්තු කළා..
ඉතිං මම බලාපොරොත්තු වෙනව මාවත් බ්ලොග් අවකාසෙට පිළිගනී කියල!!! ( එහෙම වෙයිද හිකිස්  ))

මම ඉතිං අළුත්නෙ වැරද්දක් තිබ්බොත් පෙන්නලා දෙන්න හොදේ !!!...







විලක්කුව දැල්වූ වගයි !!!!!!
 

Sample text

Sample Text

Sample Text